Thursday, October 4, 2018

හෙලුවෙන් යන රජවරු


මා එක්තරා විභාගයකට සූදානම් වෙමින් සිටියදී යම් විෂයයක්  ඉගැන්වීම සඳහා පැමිණි, ඉතා සිත්ගන්නා ලෙස ඉංග‍්‍රීසියෙන් කතා කළ තරුණ දේශකයා (අවාසනාවට දැන් මට ඔහුගේ නම අමතක ය. මුල නම සුනිල් යයි සිතමි) අපූරු කතාවක් කීවේ ය.


”දේශපාලකයන් නරක් කරනු ලබන්නේ නිලධාරීන් විසිනුයි”


මේ කතාවට පාදක වූයේ ආර් පේ‍්‍රමදාස ජනාධිපතිවරයාය. ඔහු ඉතා දරදඬු පාලකයකු වූ අතර රජයේ නිලධාරීන් සිටියේ ඔහු ඉදිරියේ දෙකට නැවීගත්වනම ය. ”ජනාධිපති උතුමාණන් වහන්සේ” යනුවෙන් ජේ ආර් යුගයේ ඇරඹි නිවට ඇමතීම පේ‍්‍රමදාස යුගයේදීත් ඉතා යහමින් පැවතුණි. පේ‍්‍රමදාස යුගය ජේආර්ගේ යුගයටත් වඩා පාදඩ යුගයක් වූ බැවින් තත්වය වඩාත් භයානක විය.


”ඉංජිනේරුවන් අවශ්‍ය නැත.. මේසන් බාස්ලා හිටියාම හොඳටම ඇති” යනුවෙන් පේ‍්‍රමදාස ප‍්‍රසිද්ධ ප‍්‍රකාශයක් කළ තැන සිටි සිවිල් ඉංජිනේරුවන් නිවට ලෙස සිනාසෙමින් සිටියේ ප‍්‍රාණ භය නිසාම බව අපි දැන සිටියෙමු. පේ‍්‍රමදාස ජනාධිපතිවරයා බලයෙන් හිස උදුම්මාගත්, උද්දච්ඡ, අනක් ගුණක් නැති, දේශපාලකයකුය යන්න ප‍්‍රසිද්ධව තිබූ කාරණයයි. ඔහුට විරුද්ධව වචනයක් හෝ කතා කිරීම මරණයට අත වැනීමකි කියාත් ප‍්‍රසිද්ධව තිබුණි. සමහරු අප‍්‍රමාණ උදාහරණද ගෙන හැර පෑහ. 


බුද්ධිමත් ඉංජිනේරුවකු වූ අපේ දේශකයා රජයේ එක්තරා ආයතනයක ඉහළ නිලධාරියකුව සිටියේ ය. ඔහුගේ ආයතනයේ විවිධ කටයුතු සඳහා ජනාධිපතිවරයා හමුවන්නට ඔහුට සිදුවිය.


”ඔහු හමුවුණ හැම අවස්ථාවකදීම මම ඔහු ඇමතුවේ Mister President කියලා.. ඔහු ඒ ඇමතීමට කිසිම අප‍්‍රසාදයක් පෙන්නුවේ නැහැ.. අපේම නිලධාරීන් තමයි නිවට කම පවත්වාගෙන යන්නෙ.. එහෙම නිවට වෙන්න අවශය නැහැ” අපේ දේශකයා කී හැටි මට තවම මතක ය.


පේ‍්‍රමදාස යුගයේදී ප‍්‍රාණ භය නිසා නිවටව සිටියත් දැන් නිළධාරීන් දේශපාලකයන් ඉදිරියේ නිවට වතක් පාන්නේ නිවට කමටම නොවේ යයි මම සිතමි. එසේ කරන්නේ දේශපාලකයා ගොනාට අන්දවන්නට තමන්ට හැකි යයි නිලධාරියා සිතන නිසා ය. මේ දේශපාලකයෝද ගොනාට ඇන්දෙන්නටම මග බලා සිටිනා මෝඩයෝ වෙති.


බොහෝ දේශපාලකයන් ඉතා අප‍්‍රසන්න චරිත ඇත්තවුන් වුවද, මේ යකුන්, කියන තරම් කලූ නැත. ඔවුන් වටා රැස් වළලූ මවන්නේ ඔහු වටා සිටින්නන් ය. ඒ රැස් වළලූ පෝෂණය කරන්නෝ නිලධාරීහු වෙති. එසේ කරන්නේ එමගින් දේශපාලකයා ගොනාට අන්දා වරප‍්‍රසාද ලබන්නට හැකි බව ඔවුන් දන්නා නිසා ය. අවම වශයෙන් තමන්ගේ රැකියාවේ සුරක්ෂිත බව රැක ගන්නට හැකි වෙතැයි ඔවුන් සිතන නිසා ය.


රජ්ජුරුවන් හෙලූවැල්ලෙන් පාරේ ගිය කතාව නොදන්නා කෙනෙක් නැත . රජ්ජුරුවන් හෙලූවැල්ලෙන් පාරේ ගියේ ඔහු ගොනාට ඇන්දූ නිළධාරීන් නිසා ය. රජ්ජුරුවන්ගේ ගොන් කම වූයේ තමන්ගේ නිලධාරීන් තමන් ගොනාට අන්දවන්නේය යන්න තේරුම් නොගැනීම ය. එහෙම තේරුම් ගන්නට හැකි රජවරුන් එදා සිටියේත් නැත. අද සිටින්නේත් නැත.


විවිධ ඉදිකිරීම් සඳහා මුල්ගල් තැබීමේදී හෝ පැල සිටුවේමීදී හෝ දේශපාලකයාට පහසුවෙන් බිමට පහත්වනු පිනිස වළවල් කැපීම දැන් විහිලුවක් බවට, නැත්නම් අප‍්‍රසන්න දැක්මක් බවට පත්වෙමින් තිබේ. මේ ගොන්පාට් එක අප පළමුව දැක්කේ රාජපක්ෂ පාලනයේදී ය. සිරිසේන යුගයේදීත් ඒ ගොන්පාට් එක එලෙසම ක‍්‍රියාත්මක වෙමින් තිබේ.


මෙහි වරද නිලධාරීන් අත නොවේ. උන් කරන්නේ දැනුවත්වම දේශපාලකයා ගොනාට ඇන්දවීමයි. තමන් ගොනාට නෑඳ ඉන්නට තරම් බුද්ධිමත් දේශපාලකයන් අපට නැත. උන් කරන්නේ නිලධාරීන් කපා දෙන වලේ බැස ජනතාව ඉදිරියේ වැළලී යාමයි.


”මගේ කොන්ද නවන්නට පුලූවන්. ඒ නිසා වළවල් කපන්න එපා” කියා නිළධාරීන්ට කියන්නට හැකි එකදු දේශපාලකයකු තවමත් අපට හමු වී නැත. එවන්නන් හමුවේ යයි සිතන්නේද නැත.

මේ සිරි ලංකාව ය.





Sunday, July 29, 2018

තායි දරුවන් බේරා ගැනීමේ මෙහෙයුමේ කාටූන් මෙහෙයුම

සිළුමිණේ ගිය ලිපියේ පොඩි කොටස් කිපයක් එහෙ මෙහෙ වෙලා තිබූ නිසා සම්පූර්ණ ලිපිය මෙහි පළකරන්න හිතුවා..

සිළුමිණ ලිපිය මෙතැනින්...


තායි දරුවන් බේරා ගැනීමේ මෙහෙයුමේ කාටූන් මෙහෙයුම


තායිලන්තයේ තම් ලූඈන්ග් ගුහාවේ සිරවී සිටි ”වයිල්ඞ් බෝස්”පාපන්දු කණ්ඩායමේ කුඩා දරුවන් එකොළොස් දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරුවා බේරා ගැනීමේ ක‍්‍රියාන්විතය දැන් ඉතිහාසයට එක් වී ඇත. මේ ක‍්‍රියාන්විතයේ දැකගන්නට ලැබුණ වැදගත්ම කාරණය සහය දිය හැකි සෑම රටකින්ම පාහේ කිමිදුම්කරුවන් තායිලන්තයට පැමිණ දිවා ? නොබලා වෙහස මහන්සිය නොබලා මේ දරුවන් බේරා ගැනීමට එක්වීමයි. ලොවේ මනුෂ්‍යත්වය අවදි කළ සිදුවීමක් ලෙස මේ මෙහෙයුම සටහන් වන්නේ එනිසා ය.


මේ සියල්ල අතරේ මේ සිදුවීම පාදක කරගනිමින් අපූරු කාටුන් රැසක් ලොව පුරා විවිධ මාධ්‍ය හරහා එළිදැක්විණි. සමස්ථ ක‍්‍රියාවලිය දෙස විවිධ කෝණ වලින් බලමින් නිර්මාණය වූ මේ කාටූන් ලෝකයට කියා පෑවේ මානුෂිකත්වය පිළිබඳ පාඩම් ය. ඒ කාටුන් කීපයක් දෙස අපේ ඇස යොමු වූයේ මෙලෙස ය.


දරුවන් ගුහාවේ සිරවුණ දා සිට ඔවුන් රැුකබලාගත්තේ පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවා ය. දරුවන්ගේ මානසික ශක්තිය වඩවමින් ඔවුන් දවස් නවයක් නිසි සේ රැුකගත් මේ තරුණයා කාගේත් පැසසුමට ලක් විය. සිය ආහාර වේල පවා දරුවන්ට ලබාදෙමින්ද අපවිත‍්‍ර ජලය වෙනුවට උල්පත් ජලය පානය කරන්නට දරුවන් යොමු කරවමින්ද ඔහු කළ සේවය ඉතා බුද්ධිමත් එකක් විය. දරුවන් එකොළොස් දෙනා නියමාකාරයෙන් රැක බලාගත් තරුණයා ඉවසීමෙන් දරුවන් රැකබලාගත් ආකාරය කාටූනයට නැගී තිබුණේ මෙසේය.








මේ පාපන්දු ලෝක කුසලානය පැවැත්වෙන කාලය වුවද එම තරගාවලියට වඩා ලෝකයේ ඇස් යොමුව තිබුණේ මේ දරුවන් දෙසය.












සමාජ ජාලාවල වයිල්ඞ් බෝස් කණ්ඩායම හඳුන්වා දී තිබුණේ ලෝකයේ ජනප‍්‍රියම පාපන්දු කණ්ඩායම ලෙස ය. ලෝකයේ ජනප‍්‍රියම පාපන්දු කණ්ඩායමට කුසලානයක් දුන්නා නම් ඒ කුසලානය මේ දරුවන්ට ලැබිය යුතු තරමට ඔවුහු සමස්ථ ලෝක ජනතාවගේ ආදරය දිනාගෙන සිටියහ. ඒ අදහස කාටුන්කරුවකු සිත්තමට නගා තිබුණේ මෙසේ ය.













දරුවන් බේරාගැනීමේ මෙහෙයුමේ දැවැන්ත බව සංකේතවත් කරමින් ඇඳී තිබුණ පහත දැක්වෙන කාටූනයේ දැක්වෙන්නේ ගුහාවේ කිමිදුණ  බි‍්‍රතාන්‍ය කිමිදුම්කරුවන්ට තවමත් සිනාසෙමින් සිටින දරුවන් හමුවූ ආකාරයයි.


මේ කාලය තුළ ඇඳුණු කාටූන අතරින් සමාජ ජාල අතර වැඩියෙන්ම සංසරණය වූයේ පහත දැක්වෙන කාටූනයයි. 


SISIDEO යන ආරූඪ නමින් මේ කාටූනය ඇඳ තිබුණේ   Aruni Aunhawarakorn සහ Jantima Manasviyoungkul   විසිනි. ඔවුන් ඇඳ තිබූ මේ කාටූනය තායිලන්තයේ විශාල දැන්වීම් පුවරු වල පවා අලවා තිබුණ බව වාර්තා විය.

මේ කාටූනයේ වයිල්ඞ් බෝර්ස් පාපන්දු කණ්ඩායමේ දරුවන් දොළොස්දෙනා සහ පුහුණුකරු සංකේතවත් කර තිබුණේ කුඩා වළස් පැටවුන් දොළොස්දෙනකු සහ මදක් විශාල වලස් පැටවකු ලෙස ය. ඉදිරියෙන් ඇඳු තිබුණ කැප් තොප්පියක් දමාගත් සුදු අලියාගෙන් සංකේතවත් කර තිබුණේ මේ විශාල මෙහෙයුමේ නායකත්වය ගෙන සිටි නරොන්ගාක් ඔසටනාකෝන් ය. ඔහු නිතරම නිල් කැප් තොප්පියක් සහ ඇස්කණ්නාඩි යුවලක් පැළඳ සිටියේ ය. මෙහෙයුමට සහභාගිවූ රටවල් සංකේත කර ඇත්තේ ඒ ඒ රටවලට ආවේනික සතුන්ගෙන් ය. සුදු පැහැති සීල් මත්ස්‍යයන් නිරූපණය කළේ තායි නාවික හමුදා කිමිදුම් කරුවන් ය.  මේ කාටූනය පළමු වතාවට ඉදිරිපත් කෙරුණේ පළමු දරුවන් හතරදෙනා මුදා ගැනීමෙන් පසුව ය.







මේ අවදානම් මෙහෙයුම අතරදී එක් කිමිදුම්කරුවකු අවාසනාවන්ත ලෙස මරණයට පත්විය. ඔහු සමන් ගුනන් ය. ඔහුගේ රුව කාටූනයට නැගුනේ මෙසේ ය. සමන් පාපන්දු කණ්ඩායම සංකේවත් කරන වලස් පැටියාගේ හිස අතගාමින් කියන්නේ ”ඒකට කමක්නෑ.. (මට යන්න වුණාට කමක් නෑ) ලොකු මහත්වෙලා හොඳ මිනිසුන් වෙයන්.. හොඳද” කියා ය.





තායි දරුවන් බේරාගැනීම කෙරෙහි ලෝක ජනමාධ්‍ය වල විශාල අවධානයක් යොමු විය. ඒ අවධානය ශ‍්‍රී ලංකාවේ කටූන් ශිල්පි අවන්ත ආටිගල දුටුවේ වෙනත්ම මානයකිනි.



අවන්ත කියන්නේ සිරියාවේ දී යෙරුසලමේ දී මියයන දරුවන් දෙස නොබලන ලෝක ජනමාධ්‍ය අනවශ්‍ය තරමින් තායි දරුවන් දෙස බැලූ බවයි. ලෝක ජනමාධ්‍ය මැදපෙරදිග යුද්ධ වලින් අනාථවන දරුවන් දෙස නොබලන්නේය යන්න සත්‍යයක් නොවේ. ශ‍්‍රී ලංකාවේ ජනමාධ්‍ය වලින් ඒවා වාර්තා නොවුණද ලෝකයේ ප‍්‍රධාන ජනමාධ්‍ය ආයතන මේ මැදපෙරදිග අනාථවන දරුවන් ගැන ගෙන එන වාර්තා විදෙස් රටවල ජනමාධ්‍ය වලින් නිතර ප‍්‍රචාරය වෙයි.






මුල් දරුවන් හතරදෙනා බේරා ගැනීමෙන් පසු ඉතිරිවූ අට දෙනා වෙත පැමිණෙන කිමිදුම් කරුවෙන් පිටව යන්නට සූදානම් වන්නැයි ඇඟවෙන ග‍්‍රීන් කාඞ් එකක් පෙන්වමින් සිටින මේ කාටූනය සීඑන්එන් නිව්ස් 18 මාධ්‍ය ආයතනයෙන් නිකුත් වූවකි.




ගුහාවේ සිරවී සිටි සියලූම දරුවන් පිටතට ගෙන ආ පසු ඔවුනට රෝහල් ගතවී සිටින්නට සිදුවූ අතර කිසිවකුට ඔවුන් හමුවන්නට අවස්ථාවක් තායි බලධාරීන් ලබා දුන්නේ නැත. ඬේව් ග‍්‍රැන්ලන්ඞ් කාටූන් ශිල්පියා අසන්නේ ”ආයෙම හිර වුණා වගේ නේද?” කියා ය.

 
මේ ක‍්‍රියාවින්තය සිදුවන කාලයේම ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ට‍්‍රම්ප්ගේ නියමෙයෙන්  අනවර සංක‍්‍රමණික දරුවන් දෙමාපියන්ගෙන් වෙන්කර රඳවාගැනීමේ කඳවුරුවලට ගාල්කිරීමේ මෙහෙයුමක් ක‍්‍රියාත්මක විය. මුලූ ලෝකයේම අපවාදය ජනාධිපති ට‍්‍රම්ප් වෙත යොමු කරමින් සිදුවුණ සංක‍්‍රමණික දරුවන් දෙමාපියන්ගෙන් වෙන්කිරීමේ ක‍්‍රියාවලියට ජනාධිපතිවරයාගේ බිරිඳ පවා විරුද්ධ විය. මේ සිදුවීම් දෙක සන්සන්දනය කරමින් ජනාධිපති ට‍්‍රම්ප් උපහාසයට ලක් කෙරුණ කාටූන් කීපයක්ම ඇමරිකා එක්සත් ජනපද මාධ්‍ය වල පළ විය. මේ එයින් එකකි.



ඇමරිකාවේ සංක‍්‍රමණික දරුවන් තවමත් ගුහාවක සිරවී සිටිනු එයින් දැක්වෙයි.

ක‍්‍රියාන්විතය අවසන් වූ පසු එයට සහභාගිවූ දෙස් විදෙස් කිමිදුම්කරුවනට ස්තුති කරමින් කටූන් රැුසක් නිර්මාණය විය.

”ඔබ අපේ වීරයෝ වෙති” යි මේ කාටූනයේ සඳහන්වෙයි.

ෆ‍්‍රැන්ක්ෆර්ට්හි ස්ටේට් ජර්නල් පුවත්පතේ පළවූ කාටූනය සමස්ථ ක‍්‍රියාදාමයේ අවසන් ඵලය කාටූනයට නැගුවේ මෙසේය.



කාටූනය මෙසේ කියයි.

 ”තායි දරුවන් දොළොස් දෙනා සහ පුහුණුකරුවා සිර වී සිටි ගුහාවේ සියල්ලන් නික්ම ගිය පසු ඉතිරි වූ එකම දෙය.... තවමත් විශ්මිත දේ සිදුවන බව ය”


සැබෑවකි. සියලූ අත් එක් වූ විට විස්මිත දේ කළ හැකි ය.


Monday, July 2, 2018

ආචාර්ය හෙන්රි ජයසේන සූරීන් වෙනුවෙනි

මේ මතක සටහන ආචාර්ය හෙන්රි ජයසේන සූරීන් වෙනුවෙනි.


ශ‍්‍රී ලාංකේය වේදිකාවේ මහත් පෙරළියක් කළ ඔහු නිමැවූ වේදිකා නාට්‍ය කිසිදා අමතක නොවන ඒවා ය. පව්කාරයෝ (1958) ජනේලය (1962) කුවේණි (1963) තවත් උදෑසනක් (1964) මනරංජන වැඩවර්ජන (1965) අහස් මාලිගා (1966) හුණුවටයේ කතාව (1967) අපට පුතේ මගක් නැතේ (1968) දිරිය මව (1972) මකරා (1973) සරණ සියොත් සේ පුතුනි හඹා යන (1975) ඔහු අපට දායාද කළ වේදිකා නාට්‍යයි. හුණුවටයේ ඔහු ජීවමාන කළ අසඩක් ගේ චරිතය සදානුස්මරණීය චරිතයකි.


ගම්පෙරළිය, අවුරුදුදා, ගැහැනු ගැට, දහසක් සිතුවිලි, සීගිරි කාෂ්‍යප, සුහද සොහොයුරෝ, වෙන ස්වර්ගයක් කුමටද, හෙට ප‍්‍රමාද වැඩියි, බද්දේගම, අම්මයි දුවයි, සඳකඩපහන, සොල්දාදු උන්නැහේ, හංස විලක්, කළියුගය ඔහු රඟපෑ සිනමා පට අතර වෙයි. රූපවාහිනියේ දූ දරුවෝ ටෙලි නාට්‍යයේ ඔහු රඟපෑ සුදු සීයා ගේ චරිතය අති මහත් පේ‍්‍රක්ෂක ප‍්‍රසාදය දිනාගත්තේ ය.
ගම්පෙරළියේ පියල් ලෙස


ඔහු කලක් එදිරිවීර සරච්චන්ද්‍රයන්ගේ මනමේ නාට්‍යයේ ද රඟ පෑ නමුත් පසුව එයින් ඉවත් විය. ඒ ගැන ඔහු කීවේ ”දවසක් එළමහන් රගං පීඨයක මනමේ කරද්දි හඳ පායලා තිබුණා. මං ඒ දිහාට අත දික්කළා  කියල කව්ද කෙනෙක් සරච්චන්ද්‍ර මහත්තට කේළමක් කියල මං මනමේ එකේදි චිත‍්‍රපටි කෑලි දානව කියල” කියා ය.


වේදිකාවේත් සිනමාවේත් සාහිත්‍යයේත් විසල් පුරෝගාමී මෙහෙවරක් කළ ඔහු හා මා අතර මිත‍්‍රත්වය ඇතිවන්නේ ඉතා සරළ සිදුවීමක් නිසා ය. එක්තරා යුගයක ඔහු වේදිකාවට සම්බන්ධ සිය ජීවිත කතාව කොටස් වශයෙන් ලියමින් සිටියේ ය. ඒ කරළියෙන් කතාවක් 1, 2 සහ නොනිමි කතාවක් ලෙස මගේ මතකයේ තිබේ. (පසුව ඔහු ”මිනිසුන් වූ දරුවන්” නමින් සිය ජීවිත කතාව ලිව්වේ ය.) ඒ සියලූ පොත් මහත් අභිරුචියකින් කියමින් සිටි මට ඔහු හපන්කම් පෑ එක්තරා කලා ක්ෂෙත‍්‍රයක් පිළිබඳව සටහන් කරන්නට ඔහුට අතපසු වී ඇති බව පෙනී ගියෙන් ඒ පිළිබඳව දන්වා ඔහුට ලිපියක් යැව්වෙමි.


සතුට චිත‍්‍රකතා පුවත්පතේ ඞී සී කරුණාරත්න මහතාගේ අපූරු චිත‍්‍ර වලින් සමන්විතව ”හාවුන් හඳේ අල්ලං අල්ලං” නමින් ළමයින් ඉලක්ක කරගත් කාටුන් චිත‍්‍රකතා පෙළක් පළවිය. අපි මහත් ආශාවකින් කියැවූ ඒ චිත‍්‍රකතා පෙළ ලිව්වේ හෙන්රි ජයසේන සූරින් බව බොහෝ දෙනෙකුට දැන් මතක නැතැයි සිතමි. එදා මා ඔහුට සිහිපත් කරදුන්නේ ඒ චිත‍්‍රකතා ලියූ යුගය පිළිබඳවය. මගේ ලිපියට ස්තුති කරමින් ලිපියක් එවූ ඔහු සිය ඉදිරි කෘතියකදී ඒ යුගය පිළිබඳව ලියන බවත් දැන්වූයේ ය. ඔහු හා මා අතර හිතවත් කමක් ගොඩ නැගුණේ ඉන් පසුව ය. අප හමු වූයේ කීප වතාවක් වුව ද ඔහු දිගටම මට ලිපි ලිව්වේ ය.


මේ යුගයේ ඔහු ”ලාසරස්” පොත ලියමින් සිටියේ ය. තමා ලාසරස් ලියන්නේ ඞී ආර් විජේවර්ධන නවකතා තරගයට ඉදිරිපත් කිරීම සඳහා බව ඔහු මා හා පැවසුවේ ය. ලාසරස් පසුව ඉංග‍්‍රීසියටද පරිවර්තනය කෙරුණ අතර අවාසනාවට ඒ ඉංග‍්‍රීසි පරිවර්තනය එළි දැක්වුණේ ඔහුගේ අභාවයෙන් පසුව ය.



මගේ පළමු මුද්‍රිත ග‍්‍රන්ථය වූ ”සිසිරයේ පිපුණ මල” කාව්‍ය සංග‍්‍රහයට ඔහු පසුවදනක් ලිව්වේ ය. මගේ දෙවන පොත වූ ”කන්ද උඩ මාළිගාව” කෙටිකතා සංග‍්‍රහය මම ඔහුට පුද කළෙමි. ඒ වෙනුවෙන් නුගේගොඩ ඔහුගේ නිවසට අප ගිය දා මානෙල් ජයසේන මහත්මිය කිරිබත් සෑදුවා ය.




”අද හොඳ දවසක් නිසා ඔන්න මං කිරිබත් ඉව්වා” එතුමිය  එදා සිනාමුසු මුහුණින් කියූ අයුරු මගේ මතකයෙන් කිසිදා බැහැර නොවේ.


මේ එදා පොත පිළිගැන්වූ මොහොත මගේ අයියා කුමාර විසින් සේයාරුවට නංවන ලද ආකාරයයි.



1931 ජූලි 6 වන දා උපත ලැබ 2009 නොවැම්බර් 11 වන දින අප හැර ගිය ආචාර්ය හෙන්රි ජයසේන සූරීහු සදා කල් අප සිතේ ජීවත්වෙති.







පසු සටහන

”හාවුන් හඳේ අල්ලං අල්ලං” කතාවට අපූරු කාටුන් චරිිත කීපයක් එක් කළ ඞී සී කරුණාරත්න මහතා සිංහල සිනමාවේ පළමු ළමා චිත‍්‍රපටය ලෙස හැඳින්විය හැකි කුවේණියගේ දරුවන්ගේ කතාව අළලා නිපැදවුණ  ”අතීතයෙන් කතාවක්” චිත‍්‍රපටය වෙනුවෙන්ද සජීවීකරණ චිත‍්‍ර පෙළක් ඇන්ද බව මගේ මතකය කියයි.

Monday, June 25, 2018

Π අකුරෙ කතාව

මං අටේ පන්තියට කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයට ඇතුල්වෙන්නෙ හතේ පන්තිය කෝට්ටේ ශාන්ත තෝමස් විද්‍යාලයේ ගත කරළා. උඩහමුල්ල තලපත්පිටියෙ පුංචි ඉස්කෝලෙ ඉඳන් මාව ශාන්ත තෝමස් එකට දැම්මෙ අපේ අම්ම. රබර් සෙරෙප්පු දෙකක් දාගෙන තලපත්පිටියෙ ඉස්කෝලෙට ගිය මට සපත්තු දාන්න වුණේ ශාන්ත තෝමස් විද්‍යාලයට යන්න වුණ නිසා. ඒ කාලෙ හිටිය ප‍්‍රින්සිපල් කබ්රාල් කියල උස මහත්තයෙක්. (ඒ මහත්තයගෙ පුතත් ඒ ඉස්කෝලෙම අපට ඉහළ පන්තියක ඉගෙන ගත්තා. මගෙ මතකෙ හැටියට එයාගෙ නම අජිත්) අපේ තාත්තත් කාලයක් මේ ඉස්කෝලෙ ඉගෙනගෙන තිබුණ නිසා මටත් මුළදි පොඩි සතුටක් තිබුණා.


කතෝලික ඉස්කෝලයක් වෙච්ච ශාන්ත තෝමස් විද්‍යාලයෙ මම ගත කළ අවුරුද්ද තුළ මම මතක හිටින නමක් තිබ්බා කියන එක නම් මට අමතක වෙන්නෙ නැහැ. හයේ පන්තියෙ ඉඳන් නවකතා ලිව්ව, ඒ වෙනකොට පොත් හත්සීයක් කියවලා තිබණ, මට අලූත් ඉස්කෝලෙ වැඩ කිරිකජු වගේ ලේසිවුණා. හැම තිස්සෙම පාඩුවෙ පැත්තකට වෙලා හිටිය කුලෑටි ළමයකු වූ මා ළඟට එන ඉහළ පන්තිවල කෙල්ලො කොල්ලො අහනවා ”ඔයාද හතේ පන්තියෙ ජගත්.. අපේ ටීචර් කිව්වා දක්ෂ ළමයෙක් ඇවිත් ඉන්නවා කියලා” ”ඔයා ලස්සනට රචනා ලියනවලූ නේද?” ”ඔයාගෙ අත් අකුරුත් ලස්සනයිලූ නේද?” ”ඔයා හරි ගණන්කාරයලූ නේද?” කතා ගොඩයි.


මේ ඉස්කෝලෙ බෞද්ධ ළමයි හිිටියෙ අපි දෙතුන් දෙනයි. ක‍්‍රිස්තියානි ආගම උගන්වන වෙලාවට බෞද්ධ ළමයි ලයිබ‍්‍රරි එකට හරි කැන්ටිමට හරි යනවා. එහෙ මෙහෙ රස්තියාදුවෙන්න කැමති නැති මං කරන්නෙ ඒ පන්තියෙ පස්සෙම පේළියකට ගිහින් ඉඳගෙන මගේ වැඩක් කරගෙන ඉන්න එක. දවසක් ආගම උගන්නපු සිස්ටර් ඇවිත් මගේ ඔලූව හිල්වෙන්න ටොක්කක් ඇන්නා පාඩමට ඇහුම්කන් දෙන්නැහැයි කියලා. මගේ ඇස් වලට කඳුළු ආවා. (මං කොහොමත් පොඞ්ඩ ඇත්නම් අඬන ළමයෙක්) ”මං බුද්ධාගමේ සිස්ටර්” මං බොහොම අමාරුවෙන් කියාගත්තා. ඒ ගමන ඒ අමන සිස්ටර් හතේ පන්තියෙ පුංචි දරුවකු වෙච්ච මට කියපු නරක කතාව මට ඒ ඉස්කෝලෙ එපාම කෙරෙව්වා. (ඒ කතාව මං කොහෙවත් ලියන්නෙවත් කියන්නෙවත් නැහැ. මං වචනෙකින්වත් ජාතිවාදයටවත් ආගම්වාදයටවත් උඩගෙඩි දෙන්න අකැමැති නිසා)


ඒ කාලෙ අපට ගණිතය උගන්නන්න ආව වයසක ගුරුවරයෙක් භාග සංඛ්‍යා වල හරය සහ ලවය මතක තියාගන්න කියා දුන්න ක‍්‍රමයත් මට තාම මතකයි.


”ළමයි.. හරක පිටේ ළමය නැගල ඉන්නවා කියලා මතක තියාගන්න.. හරය යට.. ලවය උඩ”



ඒ ඉස්කෝල හිටපු අවුරුද්දෙ මං හැමදාම පන්තියේ පළමුවැනියා. ඒත් මං පන්තියට ගියේ සතියට දවස් හතරයි නැත්නම් තුනයි. හැකි හැම වෙලාවෙම කට්ටි පැන්නා. කට්ටි පැනලා කොහෙවත් ගියේ නැහැ. ගෙදර තමයි හිටියෙ. උදෙන්ම ඉස්කෝලට යන්න පිටත්වෙන මම ටික දුරක් ගිහිල්ලා හැරිලා ගෙදර එනව. අම්මයිි තාත්තයි ව්‍යාපාරික වැඩ වලට යන නිසා අහන්න කවුරුවත් හිටියෙත් නැහැ. හිටියෙ ආච්චි විතරයි. උන්දැට ඒක ඒ හැටි ගාණක් වුනේ නැහැ. කට්ටි පැනලා පහුවෙනිදට මමම ගුරු දෙගුරු සම්බන්ධතා පොතේ අම්ම ලියන විදිහට ලියුමක් ලියාගෙන අම්මගෙ අස්සන මමම ගහගෙන ගිහින් පන්තිබාර සර්ට දෙනවා. 


ඒත් කාලයක් යනකොට ගෙදර අයට මේක තේරුණා. කෝට්ටෙ ආනන්ද ශාස්ත‍්‍රාලයේ හිටපු උප විදුහල්පති සමරකෝන් මහත්තයා තාත්ත එක්ක එකට විශ්ව විද්‍යාලෙ ඉගෙන ගත්ත යාලූවෙක්. තාත්ත සමරකෝන් මහත්තයට කියලා මාව ආනන්ද ශාස්ත‍්‍රාලයට දැම්මා අටේ පන්තියට. ආනන්ද ශාස්ත‍්‍රාලයේ මං ගත කළ ජීවිතය හරිම රසවත් එකක්. නමයෙ පන්තියට යනකල් මං හැමදාම පන්තියේ පළමුවැනියා. අටේ පන්ති අටෙන්ම පළමුවැනියා වෙලත් තියෙනවා. ඒත් මං කවදාවත් පණදාගෙන මහන්සිවෙලා පාඩම් කළ ළමයෙක් නෙවෙයි. බොහොම සැහැල්ලූවෙන් කතාවක් ලියාගෙන චිත‍්‍රයක් ඇඳගෙන හිටිය ළමයෙක්. 


මේ වල්පල් පුරසාරම් කතාව කියවාගෙන ඇවිත් ඔන්න දැන් තමයි මට කියන්න  ඕනෙ කතාවට එන්නෙ.


අටේ පන්තියෙදි අපට ගණිතය උගන්නන්න ආව සර්ගෙ නම සිරිදාස (නියම නම නෙවෙයි) වැඩිය උස නැති, හිස පිරෙන්න තට්ටය තිබුණ, සුද්දෙක් වගේ සුදු සිරිදාස මහත්තය පන්තිට ආවේ රෝල් කරගත්ත හීනි වේවැලකුත් අරගෙන. එයාට හරියට තරහ යනවා. තරහ ගියාම මූණ ජම්බු ගෙඩියක් වගේ රතුවෙනවා. ඇස් රතුවෙනවා. කේතියෙන් වෙවුලනවා. අර වේවැල දිගඇරලා වැරදිකාරයන්ට දෙනවා කිස් කැවෙන්න පාර දෙක තුනක්. (දැන් කාලෙ නම් ඒ මහත්තය පොලිස්සියෙ රිමාන්ඞ් එකේ තමයි නවතින්නෙ. ඒ කාලෙ අම්මල තාත්තලා දැන් අයට වඩා බුද්ධිමත් වෙන්න ඇති)


දවසක් සිරිදාස සර් පන්තිය ආවෙ බොහොම බැ?රුම් පෙණුමක් දාගෙන.


”ළමයි අද අපි අලූත් අකුරක් ඉගෙන ගන්නයි යන්නෙ” සර් කිව්වා. ගිහින් කලූ ලෑල්ලෙ අමුතුම අකුරක් ඇන්දා. Π  ”ළමයි මේ අකුරට ගණිතයෙ වටිනාකමක් දීලා තියෙනවා.. මේකෙ වටිනාකම තමයි හතෙන් විසිදෙක..” ඔහු කලූලෑල්ලේ ලිව්වා 22/7 කියලා. ඊළඟට හැරුණා පන්තිය දිහාට. සර්ගෙ නළලෙන් දාඩියත් දානවා. එදා ඒ හැටි රස්නෙ දවසකුත් නෙවෙයි. සර් අර රෝල් කරපු වේවැල අතට අරගෙන අතපත ගාලා ආපහු තිබ්බා.


”ළමයි මේ අකුරෙ නම ෆයු” සර් ඊළඟට කිව්වා. ”මොකක්ද..?”


”ෆයු” අපි කෑගහලා කියනවා.


”බොහොම හොඳයි.. ඒත් ළමයි මේකෙ ශබ්දය වඩාත් ළංවෙන්නෙ ෆයි කියන එකට” ඒ පාර එයා කොල්ලන්ට කිව්වෙ නැහැ ඒක කියන්න කියලා.


දැන් සර් හැරෙනවා කලූලෑල්ල දිහාට. සාක්කුවෙන් ලේන්සුවක් අරගෙන නළල පිහදාගන්නවා. ඊළඟ වතාවෙ එයා කතා කරන්නෙ අපි දිහා බලාගෙන නෙවෙයි. කලූලෑල්ල දිහා බලාගෙන.


”හැබැයි ළමයි මේක හරියටම ශබ්ද කරනවා නම් කියන්න  ඕනෙ... කියන්න  ඕනෙ පයි කියලා..”


කොල්ලො ”මීක්” ගෑවෙ නෑ. සර්ගෙ වේවැලට බය නිසා. ඒත් තද කරගත්ත හිනාවක් දෙකක් එහෙන් මෙහෙන් යාන්තමින් පැන්නත් සර් ඇහුන්නෑ වගේ හිටියා.




පසු කතාවක්


පාසල් කාලය හමාර වෙලා අවුරුදු දහයකට විතර පස්සෙ දවසක මම ගෙදර හිටිය නිවාඩු දවසක යම්කිසි කෙනෙක් අපේ ගේට්ටුව ළඟ කැරකෙනවා දැක්කා. ගිහින් බලද්දි මූණ පුරා රැුවුළ වවාගත් පරණ අත්කොට කමිසයක් සහ පරණ සරමක් ඇඳගත් කෙනෙක් ගේට්ටුව ළඟ ඉන්නවා. දෙයියනේ සිරිදාස සර්.


”සර්” මං ළඟට දුවගෙන ගියා. සර් බොහොම අහිංසක විදිහට හිනාවුණා.


”මං ඇතුළට එන්නෙ නැහැ ජගත්.. මං ආවෙ උදව්වක් ඉල්ලගන්න” ඔහු කිව්වා ”මට ලොකු කරදර ගොඩක් වුනා.. තියනවනම් මට අඳින්න කමිසයක් සරමක් ඉල්ලගන්න ආවෙ” ඔහු හෙමින් කිව්වා. මගේ පපුව හෝස් ගාල පත්තු වුණා. මං ගෙදර දුවල ගිහින් අලූත්ම කමිස දෙකකුයි සරම් දෙකකුයි ගෙනත් සර්ට දුන්නා. ආයෙමත් අර අහිසංක හිනාව දාලා ඔහු පාගොඩ පාර පැත්තට හෙමින් හෙමින් ඇවිදගෙන යන හැටි මං ඇස්වලට පිරිච්ච කඳුලූ අතරින් බලං හිටියා. එදායින් පස්සෙ මං කවදාකවත් සර්ව දැක්කෙ නැහැ..


ගුරුවරු දෙවිවරු වෙති. ඒ මගේ ඇදහීමයි.


ඒ ප‍්‍රකාශය වඩාත් නිවැරදිව කරන්නට මම කැමතියි. ”ඒ කාලයේ බොහෝ ගුරුවරු දෙවිවරු වූහ”

Saturday, June 23, 2018

ලියූ ගී කීපයක් එක්තැන් කළෙමි

වරින් වර මා අතින් ලියැවුණ සහ තනු නිර්මාණය කෙරුණ ගී අතරින්  කීපයක් එක්තැන් කරන්නට ගත් උත්සාහයකි මේ.
කැමැත්තෙක් රසවිඳිත්වා..





මිණි ගං දෑල ටෙලි නාට්‍යයේ තේමා ගීතය
අධ්‍යක්ෂණය - චරිත් අබේසිංහ
ගායනය - සමන් ලෙනින්
පද රචනය - ජගත් ජේ එදිරිසිංහ
සංගීතය - සමන් ලෙනින්

Mini Gan Dele - Saman Lenin

විසුල අහස යට ටෙලි නාට්‍යයේ තේමා ගීතය
අධ්‍යක්ෂණය - කැලුම් පාලිත මහීරත්න
ගායනය - අමිල පෙරේරා
පද රචනය - ජගත් ජේ එදිරිසිංහ
සංගීතය - ඇන්තනිි සුරේන්ද‍්‍ර

Visula Ahasa Yata Theme Song

නිශා ආශා
නාලක අංජන කුමාර
සංගීතය නාලක අංජන කුමාර
පද රචනය - ජගත් ජේ එදිරිසිංහ


නුගේගොඩ
ලලින්ද රණවීර
සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ
පද රචනය - ජගත් ජේ එදිරිසිංහ


ඔබේ පා මත
තරුෂි සහන්මා
සංගීතය නවරත්න ගමගේ
ගී පද - ජගත් ජේ එදිරිසිංහ


සුමුදු පිනි බිඳු
නාලිකා අබේරත්න
සංගීතය විශාරද ඉන්දික රජින්ත ලක්මාල්
ගී පද - ජගත් ජේ එදිරිසිංහ


පියෙන් පිය මැද 
නාලිකා අබේරත්න / වියෙනා අබේරත්න
සංගීතය විශාරද ඉන්දික රජින්ත ලක්මාල්
ගී පද - ජගත් ජේ එදිරිසිංහ


සුමුදු රතැඟිලි
තරුෂි සහන්මා
සංගීතය නවරත්න ගමගේ
පද රචනය ජගත් ජේ එදිරිසිංහ


නුඹත් ගියපසු
ෆියාස් මිස්කින්
සංගීතය නාලක අංජන කුමාර
පද රචනය ජගත් ජේ එදිරිසිංහ


රාධා
වසන්ත ශ්‍රීනාත් කුරුකුලසූරිය / ලලන්ති පෙරේරා
සංගීතය ආචාර් ය රෝහණ වීරසිංහ
පද රචනය ජගත් ජේ එදිරිසිංහ



ලියාගන්නට වදන්
වසන්ත ශ්‍රීනාත් කුරුකුලසූරිය
සංගීතය ආචාර් ය රෝහණ වීරසිංහ
පද රචනය ජගත් ජේ එදිරිසිංහ



හේමන්ත මුදු සිසිල
වසන්ත ශ්‍රීනාත් කුරුකුලසූරිය
සංගීතය නාලක අංජන කුමාර
පද රචනය ජගත් ජේ එදිරිසිංහ


මාළිගාවේ
වසන්ත ශ්‍රීනාත් කුරුකුලසූරිය
සංගීතය නාලක අංජන කුමාර
පද රචනය ජගත් ජේ එදිරිසිංහ



නුඹේ සිහිනය...
ගායනය - තේජා පෙරේරා
පද රචනය - ජගත් ජේ එදිරිසිංහ
සංගීතය - තරංග රත්නායක
Numbe Sihinaya - Theja Perera



එරන් රන්වන් නෙළුම්
ගායනය - තේජා පෙරේරා
පද රචනය - ජගත් ජේ එදිරිසිංහ
සංගීතය - තරුපති මුණසිංහ
Eran Ranwan Nelum - Theja Perera - Tharupathi Munasinghe


උරතලා උණුසුමේ
ගායනය - සෙව්වන්දිකා අබේරත්න
පද රචනය - ජගත් ජේ එදිරිසිංහ
සංගීතය - විශාරද රෝහණ ධර්මකීර්ති

Urathala Unusume - Sewwandika Abeyrathna - Rohana Dharmakeerthi


අම්මේ අප අතර
ගායනය - ලලිත් අරුණශාන්ත
පද රචනය - ජගත් ජේ එදිරිසිංහ
සංගීතය - වික්ටර් රත්නායක
Lalith Arunashantha / Victor Rathnayaka


රාත‍්‍රියට ඉඩ දෙන්නට..
ගායනය - විශාරද රෝහණ ධර්මකීර්ති / ශ‍්‍රීපාලි එදිරිසිංහ
පද රචනය - ජගත් ජේ එදිරිසිංහ
සංගීතය - විශාරද රෝහණ ධර්මකීර්ති


නුවර වාහල් දොරටු පසුකර

ගායනය - ලලිත් අරුණශාන්ත
පද රචනය - ජගත් ජේ එදිරිසිංහ
තනුව - ලක්ඛිත ගුණතිලක

Lalith Arunashantha


කඳුළු තොට ළඟ
ගායනය - රොහාන් ශාන්ත බුලේගොඩ ශ‍්‍රීපාලි එදිරිසිංහ
පද රචනය සහ තනුව  - ජගත් ජේ එදිරිසිංහ
සංගීතය - විශාරද රෝහණ ධර්මකීර්ති

Rohan Shantha Bulegoda / Sripali Edirisinghe / Rohana Dharmakeerthi


පියාපත් සවි
ගායනය - පුෂ්පා තිසේරා
පද රචනය - ජගත් ජේ එදිරිසිංහ
සංගීතය - මහින්ද බණ්ඩාර

Piyaapath Savi - Pushpa Thisera - Mahinda Bandara


තබා උර මත
ගායනය - ලලිත් අරුණශාන්ත
පද රචනය - ජගත් ජේ එදිරිසිංහ

Thabaa Ura Matha - Lalith Arunashantha


හම හමා ඇදෙන
ගායනය - ජානක වික‍්‍රමසිංහ - ශ‍්‍රීපාලි එදිරිසිංහ
පද රචනය සහ තනුව  - ජගත් ජේ එදිරිසිංහ
සංගීතය - විශාරද රෝහණ ධර්මකීර්ති

Hama Hamaa - Janaka Wickramasinghe - Sripali Edirisinghe



තුමුල කඳු සිරස
ගායනය සහ තනුව - රෝහණ කරුණාරත්න
පද රචනය - ජගත් ජේ එදිරිසිංහ
සංගීතය - කැමරන් කොළඹගේ

Thumula kandu Sirasa - Rohana Karunarathna - Cameron Kolambage


දසන්තය
ගායනය - අසුන්තා කරුණාරත්න
පද රචනය සහ තනුව  - ජගත් ජේ එදිරිසිංහ
සංගීතය - විශාරද රෝහණ ධර්මකීර්ති
Asuntha Karunarathna



හමනා මඳ සුළෙඟ්
ගායනය - රොෂාන් ලිංතොටගේ
පද රචනය - ජගත් ජේ එදිරිසිංහ (තනුවට අනුව ලියන ලදී)
සංගීතය - රොෂාන් ලිංතොටගේ

Hamana manda Sulange - Roshan Linthotage



රාත‍්‍රිය
ගායනය - ලලිත් අරුණශාන්ත
පද රචනය - ජගත් ජේ එදිරිසිංහ
සංගීතය - විශාරද රෝහණ ධර්මකීර්ති

Raathriyata - Lalith Arunashantha / Rohana Weerasinghe



මතක සුවඳම
ගායනය - ශිරෝමා ප‍්‍රනාන්දු
පද රචනය - ජගත් ජේ එදිරිසිංහ
සංගීතය - විශාරද රෝහණ ධර්මකීර්ති

Shiroma Fernando / Rohana Dharmakeerthi


වසා මිහි මඬල
ගායනය - මිහිඳු මාපා
පද රචනය - ජගත් ජේ එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ

Wasaa Mihi Mandala - Mihindu Mapa - Rohana Weerasinghe


ඔබේ පියවර
ගායනය - ශ‍්‍රීපාලි එදිරිසිංහ
පදමාලාව - ජගත් ජේ එදිරිසිංහ
සංගීතය - රෝහණ වීරසිංහ

Obe Piyawara - Sripali Edirisinghe - Rohana Weerasinghe



චන්ද‍්‍රකාන්ති
ගායනය - සෙව්වන්දිකා අබේරත්න
පද රචනය - වරුණ සාවින්ද
තනුව - ජගත් ජේ එදිරිසිංහ (නෘති ගී ශෛලියේ තනුවක් යෙදීමට ගත් උත්සාහයකි)
සංගීතය - රෝහණ වීරසිංහ

Chandrakanthi - Sewwandika Abeyrathne / Rohanaweerasinghe


පිනි වරුසාවේ
ගායනය - තිලකා රූපසිංහ / ජගත් වික‍්‍රමසිංහ
පද රචනය - ජගත් ජේ එදිරිසිංහ
සංගීතය - නවරත්න ගමගේ

පිනි වරුසාවේ - තිලකා රූපසිංහ / ජගත් වික‍්‍රමසිංහ


සිතින් සිත 
ගායනය - ශ‍්‍රීපාලි එදිරිසිංහ
පදමාලාව - ජගත් ජේ එදිරිසිංහ
සංගීතය - වික්ටර් රත්නායක

සිතින් සිත - ශ‍්‍රීපාලි එදිරිසිංහ


පිනි බිඳක් සැලුණා
ගායනය - ශ‍්‍රීපාලි එදිරිසිංහ
පදරචනය තනුව - ජගත් ජේ එදිරිසිංහ
සංගීතය - විශාරද රෝහණ ධර්මකීර්ති



සුදු තාරකා 
ගායනය - ශ‍්‍රීපාලි එදිරිසිංහ
පදමාලාව තනුව - ජගත් ජේ එදිරිසිංහ
සංගීත සංයෝජනය - රෝහණ ධර්මකීර්ති


සිතින් සිත (අම්මා)
ගායනය - ශ‍්‍රීපාලි එදිරිසිංහ
පද මාලාව - ජගත් ජේ එදිරිසිංහ
සංගීතය - විශාරද රෝහණ ධර්මකීර්ති



ඔබට හිමි නැතී - මටද හිමි නැතී 

ශ‍්‍රීපාලි එදිරිසිංහ / මිහිඳු මාපා
තනුව පද රචනය - ජගත් ජේ එදිරිසිංහ
සංගීත නිර්මාණය - ආනන්ද වන්නියාක
සංගීත සංයෝජනය - විශාරද රෝහණ ධර්මකීර්ති








Thursday, June 21, 2018

අන්තර්ජංජාලෙ කතාවක්

මේ කතාව ලියන්නේ කිසිවකුගේ  ඕපාදූපයක් බෙදාගන්නට තියෙන ආසාවකට නොවේ. මෙයින් යමක් උකහාගන්නට - ඉගෙනගන්නට - යම් කෙනෙකුට හැකිවේ යයි සිතන නිසා ය.


ඇය මට හමුවන්නේ මෙයට වසර තුන හතරකට පෙර අන්තර්ජාලයේදී ය. වයස 40ක පමණ වූ මනා පෙනුමකින්ද යුත් මේ කාන්තාව ජීවත් වූයේ එංගලන්තයේ එක්තරා නගරයක ය. සිය විවාහයෙන් දික්කසාද වී සිටි ඇයට සාමාන්‍ය මට්ටමේ ස්ථිර රැකියාවක්ද වූ අතර ඇගේ එකම දියණියද රැකියාවක නිරතව සිටින බව ඈ කීවා ය. ඉඳහිට දවසක අන්තර්ජාලයේ සිට මා ඇමතූ ඈ එක් දිනක් හෙළි කළේ තමාට ශ‍්‍රී ලංකාවේ පෙම්වතෙක් සිටින බව ය. තමා කිසි දිනෙක හැබැහින් දැක නැති ඒ තරුණයා ඇයට වඩා අවුරුදු 15කින් පමණ බාල වයසක සිටින නමුත් ඒ වයස් පරතරය කිසිම ආකාරයකින් ඔවුන්ගේ ආදරයට බාධාවක් නොවන බව ද ඈ කීවා ය. ඉතින් මම මේ කතා අසා සිටියා විනා අදහස් කියන්නට නොගියෙමි.


එක් දිනෙක ඇගෙන් පණිවිඩ කීපයක්ම එක දිගට ලැබුණි.


”අනේ ඉක්මණට මට කතා කරන්න.. මං ලොකු කරදරයක ඉන්නෙ” ඇගේ පණිවිඩ වලින් කියැවුණේ එවැනි කතාවකි.


”මට දැන් මැරෙන්න තමයි වෙලා තියෙන්නෙ” ඈ කීවාය.


”කලබල නොවී වුණ දේ කියන්න” මම කීවෙමි.


”අනේ මං සැරින් සැරේ මගේ බෝයිෆ්‍රෙන්ඞ්ට මෙහෙන් තෑගි යවනවා.. ඉල්ලපුවහම සල්ලිත් යවනවා.. සති දෙකකට ඉස්සෙල්ල එයාට අලූත්ම ස්මාට්ෆෝන් එකක්  ඕනෙ කියලා එව්වා.. මං ගිය සතියෙ ඒක එයාට යැව්වා.. අද එයා කොමියුනිකේෂන් එකකට යනවා කිව්වා ඒකට සිම් එකක් දාගන්න.. ඉතින් එයා ඒ කොමියුනිකේෂන් එකේ ඉඳන්ම ඒ ෆෝන් එකෙන් මට කතා කළා.. මට ලොකු සතුටක් ආවා.. එයා මට ”බායි” කියලා කෝල් එක නැවැත්තුවට ඒක කට් වුණේ නැහැ.. එනත ඉඳන් එයා කොමියුනිකේෂන් එකේ කෙල්ල එක්ක කතා කළ දේවල් ඔක්කොම මට ෆෝන් එකෙන් ඇහුණා..” කාන්තාව කතාව නවත්තා හඬන්නට ගනියි.


”එයා කිව්වා මේ ෆෝන් එක එව්වෙ එංගලන්තෙ ඉන්න ගෑණියෙක් කියලා.. ඒ ගෑනිව අල්ලගෙන ඉන්නෙ කොහොම හරි එංගලන්තෙට පැනගන්න කියලත් කිව්වා.. සැරින් සැරේ ඒ ගෑනිගෙන් එක එක් දේවල් ගෙන්නගන්නව කියලත් කිව්වා.. අනේ බලන්න මං පුදුම බේරිල්ලක් නේද බේරුණේ කියලා? තව පොඞ්ඩෙන් මං මේ කපටියට අහුවෙන්න නේද ගියේ..” ඈ යළිත් හඬයි. ”.. ඒත් මට දැන් කියන්න බැරි තරම් දුකයි.. මං එයාට කොයිතරම් ආදරේ කලාද කියල මං විතරයි දන්නෙ.. මට දැන් මැරෙන්න හිතිල තියෙන්නෙ”


මම මට හැකි පමණින් ඒ කාන්තාව අස්වැසුවෙමි. මැරෙනවාට වඩා ජීවත්වීමේ යහපත ගැනත් කපටියකුගෙන් බේරීමේ වාසනාව ගැනත් මා දන්නා වචන යොදා ගනිමින් කියා දුන්නෙමි. කාන්තාව යම් සැනසීමක් ලැබුණ බව පෙණුනි.


සති කීපයකට පසු නැවතත් අර කාන්තාව මා ඇමතුවා ය.


”මං ළබන සුමානෙ ලංකාවට යනවා” ඈ කීවා ය. ”මං  අරයව බඳිනවා.. මට එයාව අමතක කරලා ඉන්න බැහැ”


ඉතින් මට කියන්නට යමක් ඉතිරි නොවී ය. ඇය ලංකාවට යන්නට ඇති බවත් අර කපටි තරුණයා විවාහ කරගන්නට ඇති බවත් මා අනුමාන කරන්නේ ඇය ඉන්පසු මට කතා නොකළ නිසා ය. 


අන්තර්ජාලයේ සිදුවන්නේ ඔය වාගේ ජංජාලම ය.

Monday, June 11, 2018

අමතක නොවන චරිත

ජීවිතය දෙස ආපසු හැරී බලන විට යම් යම් ආකාර වලින් අපේ මගට බලපෑම් කළ පුද්ගලයන් වරින් වර සිහිවෙයි.



අප කුඩා කාලයේ පොත පත ලියන පිරිස ඉතා අල්ප විය. පොත් බිහි වුණේද ඉතා අඩුවෙනි. ඒ නිසා මේ යුගයේ බිහිවුණ සියලූම පොත් පාහේ අප කියවා තිබුණි. මා මේ කියන තරුණයා අපේ තාත්තාගේ ව්‍යාපාරයක සේවයට එන්නේ අප කුඩා දරුවන් වූ මෙවන් වකවානුවකය. ඔහු තිලකරත්න පෙතියාගොඩ නම් විය. තාත්තාගේ ව්‍යාපාරවල සේවය කළ සේවකයන් නවාතැන්ගත් අපේ නිවසට අල්ලා ඉදිකර තිබූ කුඩා නිවාස පේලියේ ඔහු නවාතැන් ගෙන සිටියේ ය.



ඉතා කඩවසම් තරුණයකු වූ තිලකරත්න අපට ඉතා ඉක්මණින් සමීප වූයේ ඔහුගේ තිබූ සුහද ගති පැවතුම් නිසා ය. හැම විටම පොත පත කියවූ තිලකරත්න මගේ සිත් ගත්තේ ඔහු ලේඛකයකු වූ නිසා ය.



ඔහු මොනිටර් එක්සයිස් පොත් වල නවකතා ලිව්වේ ය. සමහර ඒවා ආදර කතා විය. ඒ යුගයේ භයානක දුම්රිය අනතුරක් සිදුවිය. මීරිගමදී ය. මීරිගම දුම්රිය අනතුර පාදක කරගනිමින් ඔහු ලියූ නවකතාව ඉතා අපූරු එකක් විය. එහි නම මට හරියටම මතක නැත . ”බදුල්ල එක්ස්ප‍්‍රස්” යයි සිතමි. ”වී කිරිල්ලී යයි ඉගිල්ලී ” නමින් ඔහු ලියා තිබූ නවකතාව ආදර කතාවක් විය. ඔහු ලිව්වේ තිලක් පෙතියාගොඩ නමින් ය. ඔහු ලියන ආකාරය දකින මමද මොනිටර් එක්සයිස් පොත් ගෙනැවිත් නවකතා ලියන්නට උත්සාහ ගත්තෙමි.



1970 දී පමණ ගමේ ගිය තිලකරත්න ආපසු ආවේ නැත. ඔහුට යම් කරදරයක් වන්නට ඇතැයි අපි සිතුවෙමු. 1971 යනු තරුණයන්ට මහත් පීඩා ගෙන දුන් වසරක් විය. මේ තරුණයාද ඒ කරදර වලට හසුවන්නට ඇතැයි අපේ වැඩිහිටියන් සිතූ බව මට මතකය. ඔහුගේ නොපැමිණීම මගේ සිතේ ඇති කළේ විසල් කණගාටුවකි.



ඉන් වසර ගණනාවකට පසු තිලකරත්න නැවත අපේ නිවසට එයි. රැකියාවක් ඉල්ලා ගන්නටය. මේ වන විට අපේ ව්‍යාපාර නැවතී තිබුණ නමුත් තාත්තා මිරිහානේ පොලීසිය කිට්ටුවෙන් ඔහුට තේ කඩයක් දමා දුන්නේ "පුලූවන් නම් මේකෙන් දියුණු වෙන්න බලනවා" කියාය. පාසල ඇරුණ පසු මමද සමහර දිනවල ඔහුගේ සහයට ඒ තේ කඩයට වී සිටියෙමි.



තමන් 71 කැරැල්ලට අත්අඩංගුවට පත් වූ බවත් පුනරුත්තාපන කඳවුරක අවුරුදු ගණනාවක් සිටි බවත් තිලකරත්න කීවේ ය. පුනරුත්ථාපන කඳවුරේදී ඔහු අලූතෙන් ලියූ නවකතා සහිත මොනිටර් අභයාස පොත් දහයක් පමණ ඔහු මට කියවන්නට දුන්නේ ය. යම්කිසි ප‍්‍රකාශක ආයතනයක් මේ පොත් මුද්‍රණය කළා නම් තිලක් පෙතියාගෙඩ යන නම අද පාඨක ලෝකයේ නිතර කියැවෙන නමක් වන්නට ඉඩ තිබුණි. එහෙත් අවාසනාවට ඒ පොත් මුද්‍රණය කරන්නට හෝ අදහසක් තිලකරත්නට නොවී ය.



දෙවන ආගමනයෙන් අවුරුදු කීපයකට පසු ඔහු නැවතත් යන්නට ගියේ ය. එසේ යන්නට සිදුවූයේ අපේ නැන්දා කෙනකු සමග ඇති වූ පෙම් සබඳතාවක් නිසා බව මට මතක ය. ඒ ගියායින් පසු ඔහු පිළිබඳ කිසිදු ආරංචියක් අපට දැනගන්නට නොලැබුණි. ඔහුගේ ඇසුරින් උත්තේජන ලබා මා ලියන්නට පටන් ගත් සමහර නවකතා අවසන් කළ නමුත් ඒවාද අස්තාන ගතවී ගියේ ය.



ලියන්නට උත්තේජනයක් ලබාදුන් මගේ අයියා කුමාර, මගේ මාමා ලයනල් සරත් සේම තිලක් පෙතියාගොඩද මගේ සිතේ තවමත් ජීවත්වෙයි.


Thursday, May 31, 2018

ඞී බී කුරුප්පු අනුස්මරණ වාර්ෂික කෙටිකතා තරගාවලිය

අපි නැවතත් ”ලොකු වැඩක්” යයි කිව හැකි වැඩකට අත ගැසුවෙමු. ”ඞී බී කුරුප්පු අනුස්මරණ වාර්ෂික කෙටිකතා තරගය” මෙවර අපේ ඉලක්කයයි.

පය ගැසූ යම් තැනක් වීද ඒ සෑම තැනකදීම පත්තර සඟරා ගැසූ මම ඒ ලෙසටම සාහිත්‍ය තරග පවත්වන්නටද උත්සාහ කර ඇත්තෙමි.

යමක් කළ හැකි අය අගැයීම පිලිබඳ අපේ තෘෂ්ණාව පාසල් සමය දක්වා දිය යයි. අපේ පාසලේ (කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයීය මහා විද්‍යාලයය) සිංහල සාහිත්‍ය සංගමය කියා එක් තිබුණත් එයින් සිංහල සාහිත්‍යය වෙනුවෙන් කළ කිසිදු සේවාවක් නොවීය. සිංහල සාහිත්‍ය සංගමයේ මුල් පුටු වල සිටියෝ කලා අංශයෙන් උසස් පෙළ හැදෑරූ සිසුවෝ වූහ. විද්‍යා අංශයේ අපට එහි තැනක් නොවීය. ඒ නිසා අප තනතුරු හෙබවූ විද්‍යා ශිෂ්‍ය සංගමය හරහා අපි කලා කටයුතු කළෙමු. මුල් වෑයම ”මුතුහර” සඟරාව විය. 1961 වසරේ මුද්‍රණය කර තිබූ ”විද්වාන්” නම් වූ සඟරාවෙන් පසු කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයයයේ මුද්‍රණය කෙරුණු සඟරාව ”මුතුහර” විය. ඒ 1977 දී ය.  ඒ ගැන මම මෙයට පෙර ලියා ඇත්තෙමි. 

විද්‍යා ශිෂ්‍ය සංගමයේ අප ඉන්පසු ඇරඹුවේ සාහිත්‍ය තරගයයි. කවි, කෙටිකතා සහ වාක්‍ය රචනා ලෙස කොටස් තුනකින් සමන්විත වූ තරගය වැටිහිටි සිසුන් වෙනුවෙනුත් පහළ ශ්‍රේණි වල සිසුන් වෙනුවෙනුත් කොටස් දෙකකින් සමන්විතව පවත්වන්නට අපට හැකි විය. ජයග‍්‍රාහකයන්ට සහතික පත‍්‍රයක් ලබා දෙන්නටද අපට හැකි විය.

ඒ අත්දැකීමෙන් පසු නැවතත් සාහිත්‍ය තරගයක් පවත්වන්නට අපට හැකිවන්නේ ඔස්ටේ‍්‍රලියාවේ සිට ”පහන” පුවත්පත හරහාය. පහන සාහිත්‍ය තරගාවලියෙන් ජයගත් ලේඛක ලේඛිකාවන් රැසක් අදත් සාහිත්‍යකරණයේ යෙදී සිටිනු දැකීම අපට මහත් ආශ්වදයකි.

ඉන්පසු සන්නස පුවත්පත ඇරඹු පසු අප කල පළමු කාර්යයක් වූයේ සන්නස කෙටිකතා තරගය ආරම්භ කිරීමයි. එය විවෘත තරගයක් ලෙස සංවිධානය කෙරුණ අතර අවසන් වටයට තේරුණ කෙටිකතා දහය අපි ”පළමුවැනි තෑග්ග” නමින් වූ සංග‍්‍රහයක් ලෙස මුද්‍රණය කළෙමු. ඒ 2006 දී ය. මේ කටයුත්තේදී අප සමග උරෙන් උර ගැටී සිටියේ ප‍්‍රවීණ ලේඛක ඞීබී කුරුප්පු මහතා ය. කෙටිකතා පොත ලංකාවේ මුද්‍රණය කළ පසුව ඔස්ටේ‍්‍රලියාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය බරපැන දැරුවේ ද එතුමා ය. අද එතුමා අප සමග නැතිවීමේ පාඩුව වචන වලින් ලියා නිම කළ නොහැකි ය.

මට යම් සිදුවීමක් සිහිපත්වෙයි.

මෙයට වහර හත අටකට පමණ පෙර මෙල්බනයේ එක්තරා ආයතනයකින් පවත්වන ලද සාහිත්‍ය තරගයක තෑගි බෙදා දෙන්නට මට ආරාධනා කර තිබුණි. මම වේදිකාවට ගොඩ වී ජයග‍්‍රහණය කළ එක් යුවතියකට සහතික පත‍්‍රය පුද කළෙමි. සහතිකය මගේ අතින් ගත් ඇය මවෙත හැරී සිහින් හඬින් යමක් කීවේ මගේ ඇස් වලට කඳුළු නංවමිනි.

”අපි මේ අරගන්නේ අයියල වපුරපු දේ වල අස්වැන්න.. මම ඉස්සෙල්ලාම යමක් ලිව්වෙ පහන සාහිත්‍ය තරගයට.. ඒ ආපු ගමන තමයි මේ.. මේ සම්මානෙ මගේ නෙවෙයි.. ඔයාගෙ.. ඔයාට ස්තුතියි”

අතුල උපසිරි කල්දෙමුල්ල
නිර්මාණය කළ සම්මානය


දැන් අපි නැවතත් කෙටිකතා තරගාවලියක් සමගින් ඉදිරියට පැමිණ සිටින්නෙමු. මෙවර වඩාත් පුළුල් ලෙසත් වඩාත් ආකර්ශනීය ලෙසත් එය ඉදිරිපත් කරන්නට අපට හැකිව තිබෙන්නේ අනුග‍්‍රාහක අර්ථපතීන් කීපදෙනෙකුගේ සහ ස්වෙච්ඡුාවෙන් ඉදිරිපත් වී සහය දෙන සහෝදර සහෝදරියන් දෙතුන් දෙනෙකුගේ ශක්තිය නිසා ය.

ඞී බී කුරුප්පු
මේ තරගය ශ‍්‍රී ලංකාවේ සිට පමණක් නොව ලෝකයේ කොතැන හෝ සිට කෙටිකතා ලියන සැමට විවෘත ය. මුල් කෙටිකතා තරගයේදී අපට මග පෙන්වූ ඞීබී කුරුප්පු මහතාගේ නමින් මේ කෙටිකතා තරගය නම් කරන්නට අපි තීරණය කළෙමු.  ”ඞී බී කුරුප්පු අනුස්මරණ වාර්ෂික කෙටිකතා තරගාවලිය” ලෙස මෙය අප නම් කරන්නේ අප හැර ගිය ප‍්‍රවීණ ලේඛකයා කරන ලද සේවයට ගරු කරන්නට ය. ඒ සමගම සිංහල කෙටිකතාවේ උන්නතිය උදෙසා වාර්ෂික සම්මානයක් තහවුරු කරන්නටත් අපට ඇවැසි නිසා ය. මේ සඳහා අපට එක්වන ඔස්ටේ‍්‍රලියාවේ ශ‍්‍රී ලාංකික ලේඛක සංසදයටත් අපේ ස්තුතිය හිමිවෙයි.


මේ කෙටිකතා තරගය වසරින් වසර ඉදිරියට යනු දැක්ම අපේ අභිප‍්‍රායයි. අපේ සතුටයි. යමක් කිරීමෙන් අප බලාපොරොත්තුවන්නේ එපමණකි.

Wednesday, May 23, 2018

ඇයි කුරුප්පු අංකල් දම්මි බැන්දෙ නැත්තෙ?

සිංහල නවකතා ඉතිහාසයේ සදා නොමැකෙන නමක් තැබූ නවකතා අතර ”ගොළු හදවත” ට හිමි වූ සුවිශේෂී ස්ථානයක් ඇත. අපේ පරපුරේ පොත් කියවන්නන් අතර ”ගොළු හදවත” නොකියවූ කෙනෙකු සිටිය නොහැකි ය. පේ‍්‍රමයේ සදාතනික වේදනාව අකුරු වලට හැරවූ කරුණාසේන ජයලත් ඒ වේදනාව අපේ හදවත් තුළද තැන්පත් කර කල් ඇතිවම යන්නට ගියේ ය. (1994 දී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දාහත් වසරක පාලනය පෙරළා දමා චන්ද්‍රිකා බණ්ඩාරනායක බලයට ගෙන එන්නට ක‍්‍රියාකාරීව සිටි ජයලත් ඒ ජයග‍්‍රහණය දනින්නට පෙරම යන්නට ගියේ ය)


පද්මා නාලිනී ගුණරත්න

ගොළු හදවතේ දම්මි ගේ චරිතයට පාදක වූ සැබෑ චරිතය වූ පද්මා නාලිනී මහත්මිය ද දින කීපයකට පෙර අප හැර ගිය පුවත අපේ සිතේ මහත් කම්පනයක් ඇති කරන්නට සමත් විය. මේ සටහන ලියන්නේ ඒ කම්පනය නිසා ය.



”ගොළු හදවත” නවකතාව සම්බන්ධව බොහෝ දෙනකු යාන්තමින් දැන සිටි කරුණක් වූයේ එය කරුණාසේන ජයලත් ගේ පුද්ගලික අත්දැකීමක් පදනම් කරගත් කතාවක් යන්නය. හොරණ තක්ෂිලාව පසුබිම් කර ගොඩ නැගුණ ගොළු හදවතේ දම්මිගේ ආදරය පැතූ සුගත්ට අත් වූ සෝබර ඉරණම අදත් අපේ හදවත් තුල වේදනාව දල්වයි.



දම්මි සුගත්ට හිතවත් ය. ඇගේ හිතවත් කම වරදවා වටහා ගත් සුගත් ඇයට ආදරය කරයි. ඇය වෙනකකු හා සරණ යන්නට නියමිතව සිටින බව සුගත් දැනගන්නේ තම ආදරය ඇයට ප‍්‍රකාශ කළ පසුව ය. ඒ වේදනාව සුගත්ගේ ජීවිතය අහසින් පොළොවට ඇද දමයි. ඒ නවකතාවේ කතාව ය.


සැබෑ කතාවත් ඒ වාගේම ය.

කරුණාසේන ජයලත් 


පද්මා (පද්මා නාලිනී ගුණරත්න), කරුණාසේන ජයලත් සහ දොන් බෝල්ඞ්වින් කුරුප්පු උගත්තේ හොරණ තක්ෂිලාවේ ය. ඔවුහු හොඳ යහළුවෝ වූහ.


ඞී බී කුරුප්පු 
තමා සහ ජයලත් අතර තිබූ මිත‍්‍රත්වය පිළිබඳව සිය ”සැ ඳෑ  තරු එළියේ කිමිදෙන හිරු” පොතේ ඞී බී කුරුප්පු මහතා ලියන්නේ මෙසේ ය. ”තක්ෂිලා විද්‍යාලයේ උගනිද්දී කරුණාසේන ජයලත් සහ මමත් දෙවසරක් පමණ සතියේ වැඩි දවසක් ගත කළේ දෙන්නාගෙන් එත් කෙනකුගේ නිවසේ ය. එක්කෝ අප දෙන්නාම අපේ ගෙදර ය. නැත්නම් කුඹුකේ කරුණාසේනගේ (ඒ කියන්නේ ඔහුගේ මවගේ) මහ ගෙදර ය.”


බෝල්ඞ්වින් තක්ෂිලාවේ සිටි දක්ෂම සිසුවකු විය. ජයලත් සහ බොල්ඞ්වින් දෙදෙනාම ඇදී සිටියේ වාමාංශික දේශපාලනයටය.


පාසලේ කිසිවකුට නොදැනෙන ආකාරයෙන් පද්මා සහ බෝල්ඞ්වින් අතර පේ‍්‍ර්ම සබඳතාවක් විය. ළඟම යහලූවකු වූ ජයලත් පවා මේ ගැන නොදැන සිටියේ ය.


පද්මා ජයලත්ට ලෙන්ගතු ය.


පන්තියේ කිසිවකු නැති වේලාවක
දම්මි සුගත්ට වෙරළු දුන්නා ය.
නවකතාවේ එන දම්මි සුගත්ට වෙරළු දුන්නාක් මෙන් ඇත්ත කතාවේ පද්මා ජයලත්ට කටු ලොවි දුන්නා ය. මේ ලෙන්ගතු කම නිසාම ජයලත් සිතින් පද්මාට ආදරය කළේ ය. එක් දිනෙක සිය ආදරය පද්මාට හෙළි කරන ජයලත්ට දැනගන්නට ලැබෙන්නේ පද්මා ඒ වන විටත් බෝල්ඞ්වින් සමග පෙමින් බැඳී ඇති බව ය.



ඒ හෙළිදරව්ව ජයලත්ට දරා ගන්නට නොහැකි තරම් විය. ඔහු සිය මිතුරා වූ බොල්ඞ්වින් හොරණ දී හමුවිය.



”එදා ජයලත් මගේ අත් දෙක අල්ලගෙන හොඳටම ඇඬුවා. මට ඒක අද වාගේ මතකයි” දොන් බෝල්ඞ්වින් කුරුප්පු හෙවත් ප‍්‍රවීණ ලේඛක ඞී බී කුරුප්පු මට කීවේ ය. ”ඒ සිදුවීම මතක් වනවිට අදත් මට මහ දුකක් දැනෙනවා..”



ගොළු හදවතට පදනම් වූ සිය ආදර කතාව කොතැනකදීවත් හෙළිදරව් නොකර සිටින්නට කුරුප්පු පරිස්සම් විය. දැන සිටියේ අප කීප දෙනකු පමණකි. එහෙත් වක්කඩ කැඩුවා සේ මේ පුවත දෝරෙ ගලා ගියේ ප‍්‍රවීණ ලේඛක ඒ ඞී රන්ජිත් කුමාර මේ පෙම් පුවත ලක්බිම පුවත්පතට ලිවීමත්  සමගය. රන්ජිත් කුමාර මහතා කුරුප්පු මහතාගේ හිතවතකු වූවා පමණක් නොව පද්මා නාලිනී ද හොඳින් දැන හඳුණාගෙන සිටියේ ය. ඒ දැන හැඳුණුම් කම ඇති වන්නේ ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා ගොළු හදවත නවකතාව ඇසුරින් තැනූ ගොළු හදවත චිත‍්‍රපටය හරහා යයි සිතමි


මේ හැඳුණුම්කම් නිසා  කතාව වඩා රසවත්ව හෙලිදරව් කරන්නට ඔහුට හැකි විය. සිය ජීවන අත්දැකීම් ඇසුරින් ලියූ පොත් අතරින් ”හැන්දෑවට පායන හිරු” පොතේ ඞී බී කුරුප්පු මහතා මේ කතාව පළමු වරට ලිව්වේ මෙයට පසුව ය. තව දුරටත් හංගාගෙන සිටීමෙන් පළක් නැතැයි වටහා ගත් පසුව ය. ඒ ලිව්වේත්  ඕනෑවට එපාවට මෙන් යාන්තමින් ය.



”ඇයි කුරුප්පු අංකල් එයාව බැන්දෙ නැත්තෙ..?” මම වතාවක් ඇසුවෙමි.. ඇත්තටම මම ඇසුවේ ”ඇයි කුරුප්පු අංකල් දම්මිව බැන්දෙ නැත්තෙ?” කියා ය.



”ඒක කෙරුණෙ නෑ ජගත්.. මං ඉගෙනගන්න කොළඹ ගියාම ඒක ඉබේටම අතෑරිලා ගියා.. කොහොම වුණාද කියලා තේරුම් කරගන්න බැහැ..තරුණ කාලෙනෙ..” කුරුප්පු මහතා කී හැටි මට මතකය. අතීතාවර්ජනයේ වේදනාව ඔහුගේ මුහුණේ ඇඳී තිබිනැයි මට ඒ වෙලාවේ සිතුණි.



මේ කාලය වන විට ඔහු සිටියේ විවාහයෙන් වෙන් වී තනිකඩව ය. මෙල්බන් නගරයේ හිතවතකුගේ ගෙදරක කාමරයක ය.



”පද්මව ආයෙම කවදාවත් හමුවුනේ නැද්ද?”



”හමුවුණා... එයා වතාවක් සිඞ්නි වලට ආව වෙලාවෙත් මට හමුවුණා..” ඔහු කීවේ ය. ” ඒ හමුවීමත් මට පස්සෙ ලොකු ප‍්‍රශ්නයක් වුණා..” ඒ ප‍්‍රශ්නය කුමක්දැයි අනුමානයෙන් සිතා ගත්තා විනා හාරා අවුස්සා අසන්නට නොගියෙමි. එය පවුලේ ප‍්‍රශ්නයක් විය හැකි යයි මම අනුමාන කළෙමි.



කරුණාසේන ජයලත් පසුව තක්ෂිලාවේම උගත් තරුණියක විවාහ කරගත්තේ ය. අධ්‍යාපනයෙන් කප් ගැසූ ඞී බී කුරුප්පු රජයේ ඉහළ තනතුරු රැසක් දරා ඔස්ටේ‍්‍රලියාවට සංක‍්‍රමණය විය. පද්මා වෙනත් අයකු හා විවාහ විය. ජයලත් හා වූ මිත‍්‍රත්වය ඔහු මියයන තෙක්ම පැවති බව කුරුප්පු මහතා කීවේ ය.


මේ ඉතිහාසගත පේ‍්‍රමය පිළිබඳව සඟවාගත් වේදනාවක් කුරුප්පු මහතාගේ සිතේ තිබුණා යයි මම සිතමි. ඒ කතාව ආවර්ජනය කරන විට ඔහුගේ මුහුණේ මතු වූ ඉරියව් මට ඒ ඉඟිය සපයයි. එහෙත් ඔහුට හෝ ජයලත්ට හෝ ඇය නොලැබීම ගැන මම සතුටු වෙමි. කාට හෝ ඇය ලැබුණා නම් කරුණාසේන ජයලත් අතින් අර අපූරු නවකතාව ලියැවෙන්නේ නැති නිසා ය.



අද මේ තිදෙනාම අප හැර ගොසින් ය. අර සුන්දර ආදර කතාව පමණක් ඉතිරිව ඇත. තවමත් අපි එය කියවමින් විරහ වේදනාවේ කටුක රසය විඳ ගනිමින් සිටින්නෙමු.




පසු සටහන
(ඞීබී කුරුප්පු මහතා පිලිබඳව මා ලියූ සටහන් කීිපයක් මෙතැනින් කියවන්න)
ඞීබී සහ මම 1
ඞීබී සහ මම 2

ඞීබී සහ මම 3

ඞීබී සහ මම 6 - එකම ඉරණමක?

Thursday, May 10, 2018

වාහන සිතුවිලි

හදිසියෙම ලංකාවට ගිහින් ආවට පස්සෙ වාහන පැදවීම ගැන යමක් ලියන්න  ඕනෙ කියලා කීප වතාවක් හිතුවා. ඒත් ආයෙම හිතුණා මොකටද කියලා. දැන් හිතුණා ඔන්න ඔහෙ ලියලා දානවා කියලා. කවුරු හරි තේරුම් ගනියිනෙ.


සංවරයක් නැති රිය ධාවනය ගැන ලියලාම ඇති වෙලා. මහපාරවල නම් තව කමක් නැහැ අධිවේග මාර්ග වලත් මේ තත්වයේ වෙනසක් නැහැ. විශේෂයෙන්ම අධිවේගී පාරවල මාර්ග නීති අකුරටම පිළිපැද්දේ නැත්නම් මහා විනාශයක් වේවි. විශේෂයෙන්ම අදාල මං තීරුවේ ධාවනය, මං තීරු මාරු කරන විට සංඥා එළි දැල්වීම, වගේ දේවල් කොයි තරම් වැදගත්ද කියලා බොහෝ අය හිතන්නේ නැහැ. බොහෝ අය මං තීරු මාරු කරද්දි සංඥා එළි දල්වන්නෙම නැහැ. කම්මැලියිද කොහෙද. සමහර රියැදුරන් මං තීරු දෙකටම නැතිව මැද ඉර උඩ ධාවනය කරමින් ඉන්න හැටි දැක්කම පුදුම හිතුණා. තවත් සමහර අය අධිවේගී මාර්ගයෙදි හෙඞ් ලයිට් ගහන්නෙ මොකද කියලා මං තාම හිතනවා.


ලංකාවේ පාරවල වාහන තදබදයට ත‍්‍රීවීල්, මෝටර් සයිකල් විතරක් නෙවෙයි හන්දිවල වාහන හසුරුවන්න ඉන්න පොලිස් නිලධාරීනුත් හරි හරියට වග කියන බව ඇස් දෙකටම දැක්කා. මේ නිලධාරීන්ට තමන් ප‍්‍රමුඛත්වය දිය යුතු මාර්ග ගැන අවබෝධයක් තියෙන බවක් නම් පෙනුණෙ නැහැ.


දවසක් හෝමාගම ඉඳන් පන්නිපිටියට එනකල්ම එකම වාහන තදබදයක්.

”ෂුවර් එකටම ඉස්සරහ පොලිස්කාරයෙක් ඇති” වාහනය පැදවූ මගේ මිතුරා කියනවා. හරියටම හරි. පන්නිපිටියෙ බත්තරමුල්ලට හැරෙන හන්දියෙ පොලිස් නිලධාරියෙක් හරිම මහන්සිවෙමින් වාහන හසුරුවනවා. ඒ මනුස්සයා අවංකවම මහන්සිවෙලා ඒ වැඬේ කරනවා. ඒත් පුමුඛත්වය දිය යුත්තෙ හයිලෙවල් පාරටය කියන එක ගැන ඒ නිලධාරියට අවබෝධයක් තිබුණ බවක් පෙනුණෙ නැහැ. මේව සාමාන්‍ය බුද්ධිය පිළිබඳ ප‍්‍රශ්න.


එහෙන් මෙහෙන් රිංගලා යන එක ලංකාවෙ වාහන එළවන අයගෙ සාමාන්‍ය දෙයක් වෙලා. කවුරුත් කාටවත් ඉඩ දෙන්නෙ නැති නිසා එහෙම නොගියොත් යන්න වෙන්නෙත් නෑ තමයි. හැම රියැදුරෙක්ම අනෙක් අයට ගරු කරන්න ඉගෙනගන්නා තෙක් මේ දේවල් මෙහෙමම තියේවි.


ට‍්‍රැෆික් ගැන කතා කරද්දි කැලූම් පාලිත මහීරත්න ඉන්දියාවෙදි දැක්ක දෙයක් මතක් වුණා. නිලම්බරේ චිත‍්‍රපටයෙ වැඩ වලට ඉන්දියාවට ගිය වෙලාවක වෙච්ච දෙයක්. ඔහු අපට මේක බොහොම රස කරලා කියනවා.


ඉන්දියාවෙ එක්තරා නගරයක මහා ට‍්‍රැෆික් එකක් මැද මේ අය යමින් ඉන්නවා. ඔන්න හතර මං හන්දියක්. හන්දිය මැද තියලා තිබ්බ බැරල් එකක් වගේ එකක් උඩ පොලිස් කාරයෙක් හිටයෙන ගජ රාමෙට වාහන හසුරුවනවා. ඉතාම කාර්යක්ෂමයි. ඒ පාරට මේ පාරට ඉඩ දෙමින් ඉතාම කඩිසරව රාජකාරිය කරපු නිලධාරියා එක සැරේම හතරපැත්තෙන්ම ආව වාහන නැවැත්තුවා. දැන් පාරවල් හතරේම වාහන නැවතිලා. දැන් හැමෝම බලාගෙන ඉන්නවා ඊළඟට මොකක්ද වෙන්නෙ කියලා. අර මහා වාහන කන්දරාවම බලා ඉන්දැද්දි පොලිස් නිලධාරියා හෙමින් සීරුවේ අර බැරල් එකෙන් බැහැලා පාර අයිනට ගිහින්  .............................................. ...........   චූ කරන්න පටන් ගත්තා...


Thursday, March 29, 2018

ස්ටීව්... වරදක් කළත් නුඹ අවංකයෙකි



මිනිසුන් අතින් වැරදි සිදුවෙයි. සමහර ඒවා හිතා මතා සැළසුම් සහගතව කරන වැරදි ය. එහෙත් කළ වරදින් පසු එහි බරපතළකම තේරුම් ගෙන සමාජය ඉදිරියට පැමිණ ”මම වරදක් කළෙමි. එහි බරපතළ බව මට දැන් වැටහෙයි. මට සමාව දෙන්න” යයි කියන්නට තරම් ආත්මශක්තියක් ඇති මිනිසුන්ට මම ගරු කරමි.

ස්ටීව් ස්මිත් නම් වන අති දක්ෂ පිතිකරුවාට මගේ කැමැත්ත හිමිවන්නේ එනිසා ය.

___________________________________

වීඩියෝව මෙතැනින් බලන්න

තරුණ ක‍්‍රීඩකයනි.. වැරදි තීරණයක් ගන්නටයන්නේ නම් ඔබේ දෙමාපියන් ගැන පළමුව සිතන්න..
___________________________________

අපේ රටේ නම් මෙවැන්නක් සිදුවන්නට ඇති ඉඩ කඩ බොහෝ අඩුය. අති නිහීන වැරදි කලවුන් කිසිදු වරදක් නොකළවුන්සේ සමාජය හමුවේ සිනාසෙමින් කතා කරන ආකාරය දකින විට ඇතිවන අපුල අතිමහත් ය.. උන්ගේ වරද වසන්නට කළ හැකි සැම දේම කරන මාධ්‍ය පමණක් නොව උන්ගේ වැරදි නොදැක්කා සේ උන්ට සුදුහුණු ගාමින් උන් පසුපස යන මිනිසුන්ද අපේ රටට ආවේනික ය. ඒ අපේ අවාසනාව ය.


ඔසියන් ක‍්‍රීඩාවේදී පසුබසින්නට කැමති ජාතියක් නොවේ. උන් තරගකාරීය. ප‍්‍රවේගවත්ය. දිනන්නටම කැමැත්තෝ ය. ක‍්‍රිකට් බෝලය පලූදුකරන්නේ ඒ කැමැත්තටය. එහෙත් මේ මිනිස්සු නරක මිනිස්සු නොවෙති. උන් සමාජය හමුවට පැමිණ වරද පිළිගෙන කඳුළු සළන්නේ එනිසා ය. මිනිසුන්ට බොරුවට සිනාසිය හැකිය. බොරුවට හඬන්නට නොහැකි ය.


නරක මිනිසුන් වන්නේ දහසකුත් එකක් වැරදි කර ඒ කිසිවක් නොකළා සේ සමාජය හමුවේ සිනාසෙමින් සිටින දූෂිතයන් ය. 


සමාව ඉල්ලන්නට ස්ටීව් ස්මිත් සමාජය හමුවට කැඳවාගෙන ආ ඒ පියාටත් මම ගරු කරමි. දරුවන්ගේ වැරදි වසන්නට කළ හැකි සැම දෙයක්ම කරන අපේ රටේ විවිධාකාර මට්ටමේ තාත්තලාට ඔහු ආදර්ශයකි.


ස්ටීව් ස්මිත් ලොව අංක එකේ පිතිකරුවා ය. එක වරදක් වෙනුවෙන් ඒ දක්ෂයා විනාශවෙනවා දකින්නට මම අකැමැත්තෙමි. ඔහුට නැවත ක‍්‍රිකට් පිටියේ තැනක් ලැබේ නම් ඒ දවස දකින්නට මම කැමැත්තෙමි.


කළ වරද අවංකව පිළිගන්නන්ට සමාව දෙන්නට මම දෙවරක් නොසිතන්නෙමි.

Wednesday, March 28, 2018

ජීවිතය වෙනස් කළ අයියාගේ ප‍්‍රශ්නය

මම යමක් තේරෙන කාලයේ සිටම අඳුරට බිය දරුවකු වීමි.  අවතාර හොල්මන් ආදී  දේ අඳුරේදී මගේ සිතට එයි. වෙනෙකක් තබා ඒ කාලයේ රාත‍්‍රියට අපේ ගෙදර කාමරයකටවත් තනිවම යන්නට මම පසුබට වුයෙමි. අයියලා මා කාමරයකට ගිය පසු දොර වසා මා පණ බයේ බෙරිහන් දෙමින් හඬන අයුරු බලා විනෝද වන්නටද පුරුදුව සිටියහ.


මම කිසිම මළ ගෙදරක නොගියෙමි.


බොරැල්ලේ ලිඩෝ සිනමා හලේදී පවුලේ අයත් සමග මධුමතී හින්දි චිත‍්‍රපටය නැරඹීමෙන් පසු මගේ භීතිය තවත් වැඩිවූ බවද මතකයට එයි.


මේ කියන කාලයේ අපේ පළාතට විදුලිය ලැබී නොතිබුනි. ආලින්දයේ එල්ලූ පෙට්‍රොමැක්ස් ලාම්පුවත් කෑම මේසය මත තැබූ ඇලඩින් ලාම්පුවත් නිවස ආලෝකමත් කළ ප‍්‍රභව විය. කාමරවල වැඩක් කරනවා නම් කුප්පි ලාම්පු වලින් ආලෝකය ලබාගන්නට සිදුවිය.


පන්තියෙන් පන්තිය ඉහළට යනවිට ජීවවිද්‍යා අංශය හෝ ගණිත අංශය හෝ තෝරාගන්නට කාලයක් එළැඹ තිබුණි. මගේ එකම තෝරාගැනීම වූයේ ජීව විද්‍යා අංශයයි. දොස්තර කෙනෙක් වන්නට ආශාවක් තිබූ නිසා නොවේ. චිත‍්‍ර අඳින්නට තිබූ ආසාව නිසා ය.



අපේ වැඩිහිටි සොහොයුරන් සොහොයුරියන් ලොකු පොත් වල ඇමීබාගේ සිට මිනිස් ශරීරයේ විවිධ අවයව පද්ධති දක්වා රූප අඳිනු දකින මගේ සිතද ඒවාට ඇදී ගියේ ය. මට අවශ්‍ය වූයේ ඒවා අඳින්නට ය. අන් අයට වඩා වැඩි හොඳට ඒවා අඳින්නට මට හැකි බව පුංචි මගේ සිත කීවේ ය. ඒ නිසා ජීව විද්‍යාව තෝරාගන්නට මම සිතුවෙමි.


අපේ අයියා කවදත් ගණිතයට සූරයකු විය. ඔහු යමින් සිටියේ ඉංජිනේරුවකු වන්නටය. ඒ ගමන බොහෝ පැහැදිලි ගමනක් විය.


එක්තරා දවසක මගේ තේරීම පිලිබඳ කතාවක් ඇදී ආවේ ය.


”ජීව විද්‍යාව කරපුවහම දොස්තරකෙනෙක් වෙන්න පුලූවන්”


අපේ අයියා සිනාසුණේ ය. ඇසුවේ එකම එක ප‍්‍රශ්නයකි.


”දොස්තර කෙනෙක් වෙලා රෑ දොළහට ඉස්පිරිතාලෙ මිනීකාමරේ ළඟින් යන්න වුණොත් මොකද කරන්නෙ?”


මම ගණිත අංශයට ගොස් ඉංජිනේරුවෙක් වීමි.

Monday, March 26, 2018

ජීවිතය වෙනස් කළ ප‍්‍රශ්න 2

හිතා මතා නොකළත් ජීවිතේ සමහර දේ සිදුවී ඇත්තේ යම්කිසි සැළසුමකටමය. ජීවිතය වෙනස් කළ අයියාගේ ප‍්‍රශ්නයත් එහෙම එකකි. ඒ ගැන කියන්නට පෙර තවත් බොහෝ වැල් වටාරම් කියන්නට සිදුවෙයි. කමත්වා. මේ කියන හැම දෙයක්ම මගේ කතාවට අදාල ය.


මම කුඩාකාලයේ සිටම අඳින්නට කැමැත්තක් සහ යම් දක්ෂතාවක් තිබූ දරුවකු වීමි. අපේ මාමා වූ නැසීගිය චිත‍්‍රශිල්පි ස්ටීවන් ගුණතිලක ගෙන් චිත‍්‍රශිල්පයේ ”අ”යන්නද ඉගෙන ගත්තෙමි. අඳින්නට තිබූ ආසාව නිසා ටික කාලයක් මිහිර පත්තරේට පැංචා නමින් කාටුන් එකක්ද ඇන්දෙමි.


ජීවිත කාලයටම හිතේ කොණක පුංචි වේදනාවක් ඇති කරමින් තිබෙන ඉතා කුඩා සිදුවීමක්ද මේ ඇඳීමේ කතාවට සම්බන්ධව තිබේ. වට වංගුවේ යන ගමන් එයද ලියන්නෙමි.


හතරේ පන්තියේ සිටියදී මා ඉගෙන ගනිමින් සිටියේ තලපත්පිටියේ් ඉස්කෝලේ හෙවත් කො/ද උඩහමුල්ල බෞද්ධ කණිටු විදුහලේ ය. අපේ පන්තිය තිබුණේ ප‍්‍රධාන ශාලාවේ වේදිකාව මත ය.


(ඒ කාලයේ මේ වේදිකාව මත ලියතඹරා නමින් වේදිකා නාට්‍යයක් පෙන්වූ අයුරුත් මතකය. ශාලාව දෙපැත්තේ කොට බිත්තිවලට උඩින් පොල් අතු බැඳ ශාලාව කලූවර කර පෙන්වූ ඒ නාට්‍යයේ ප‍්‍රධාන චරිතය රඟපෑවේ අපට වඩා පන්තියක් ඉහළින් සිටි රෝයි ජයවර්ධන ය. ඩොමී ජයවර්ධනගේ පොඩි පුතා ය. මාධ්‍යවේදිනී බුද්ධිනී ජයවර්ධනගේ තාත්තා වූ රංග ශිල්පි සහ ගායක නිහාල් ජයවර්ධනගේ මල්ලී ය. ”රොණට ඇදෙන සමණලියක” ගීය ගයන්නේ නිහාල් ජයවර්ධන ය. ටයිටස් තොටවත්ත සූරීන්ගේ "තෙවත" නම් වූ කෙටි චිත‍්‍රපට තුනක එකතුවේ ආ "අහල පහල" කෙටි චිත‍්‍රපටයේ නිහාල් රඟපෑවේ ය.

අපේ පාසලේ නාට්‍යයේ පෝස්ටර් ගසා තිබුණේ ”පුංචි ඩොමී රඟන ලියතඹරා” කියා ය. අද මේ අයිය මලෝ දෙදෙනාම අප අතර නැති එක ගැන කණගාටු ය)


පාසලේ ප‍්‍රධාන ශාලාවේ වේදිකාව මත වූ හතරේ පන්තියේදී මට හොඳ යහලූවෙක් සිටියේ ය. ඔහුගේ නම මිල්රෝයි විය. අද කොහේ සිටිනවාදැයි නොදන්නෙමි. පන්තියේ කොට බිත්තියෙන් පැනගොස් අල්ලපුවත්තේ ආච්චිගෙන් පොල් රොටි සහ ලූනුමිරිස් ගෙනැවිත් මට දුන්නේ මිල්රෝයි ය. ජීවිතේටම කෑ රසම පොල් රොටි ඒ පොල් රොටි ය.


එක් දිනක් සෞඛ්‍යය පාඩම උගන්වන්නට ආ තරුණ ගුරුවරිය පන්තිය සිසාරා බැල්මක් හෙළා ප‍්‍රශ්නයක් ඇසුවා ය.

”කාටද පන්තියේ හොඳටම අඳින්න පුලූවන්?”

”ජගත්ට ජගත්ට..” කොල්ලෝ කෑගැසුව හ.

”කමලාට කමලාට..” කෙල්ලෝ කෑගැසුවහ.


කොල්ලන්ගේ කෑ ගැසීම යටපත් කරන්නට කෙල්ලන්ගේ කටහඬට නොහැකිය. ගුරුතුමිය මා පන්තිය ඉදිරියට කැඳවා අච්චු පොතක් අතට දී එහි තිබූ ආහාර ජීර්ණ පද්ධතිය කලූලෑල්ලේ අඳින්නැයි කීවා ය. කොල්ලෝ ජය ගෝසා නැගූහ. එහෙත් මට සතුටක් ඇතිවූයේ නැත. මා කලූලෑල්ලේ නිවැරදිව රූපය ඇන්ද නමුත් එදා සිට අද දක්වා සිතේ කොණක පැළපදියම්ව තිබෙන සියුම් වේදනාවක්ද මගේ සිතේ විය.


කමලා අපේ ගමේ ඉතාම දුප්පත් පවුලක කෙල්ලක වූවා ය. දණහිසටත් පහළට දික්වුණ අවපැහැගත් සුදු ගවුමක් ඇඳ රබර් සෙරෙප්පු දෙකක් පැළඳගෙන පාසල් ආ මේ අහිංසක කෙල්ල මට තවම මතකය. ඔබට මා විහිලූවක් සේ පෙනෙනු හැෙඟනු ඇත. එහෙත් මේ දුප්පත් කෙල්ලට සිය දස්කම පෙන්වන්නට ලැබුණ එකම අවස්ථාව ඩැහැගත්තාය යන හැඟීම අදටත් මට සියුම් වේදනාවක් ඇති කරයි.



අයියාගේ ප‍්‍රශ්නයට එන්නට මට තවත් දවසක් ලියන්නට සිදුවෙයි.

Saturday, March 24, 2018

ජීවිතය වෙනස් කළ ප‍්‍රශ්න

සමහර විටෙක ඉතා කුඩා සරළ ප‍්‍රශ්න වලට ජීවිතය වෙනස් කරන්නට හැකියාව තිබේ. ජීවිත දෙස ආපසු හැරී බලන විට එවැනි අවස්ථා කීපයක්ම සිහියට නැගෙයි. එයින් වඩාත්ම මගේ සිත් ගත් ප‍්‍රශ්නය ඇසුවේ අපේ අයියා ය.


කවදත් අපේ අයියා පවුලේ බුද්ධිමතා විය. ඒ නිසා අයියා කියන කියන දේ දේව වාක්‍ය මෙන් ඇදහීමට අපි පුරුදුව සිටියෙමු. අයියා පවා ඒ බව දැන නොසිටියත් ඒවා සිදුවුණේ එහෙම ය.


අපි කුඩා කළ නාන්නට ගියේ වත්ත පහළ  ඕවිටේ පිහිටි නාන ලිඳට ය. දවසක් නාන අතරේදී අයියා අපූරු තියරියක් ඉදිරිපත් කළේ ය.


”සබන් ගාලා ගොඩක් නෑවම සබන් වළ සුවඳ ඇෙඟන් යනවා”

කතාව ඇත්ත ය. එදා සිට අපි ඒ තියරිය අනුගමනය කළෙමු. සබන් ගාන්නට පෙර බාල්දි 20ක්ද සබන් ගෑවාට පසුව බාල්දි 10ක්ද නෑමෙන් අපේ ස්නානය සම්පූර්ණ කරන්නට අපි පුරුදු වූයෙමු.


ප‍්‍රශ්නය මතුවුණේ අපේ පන්තියේ සෞඛ්‍යය පාඩමේදී ය. එවකට මා සිටියේ කෝට්ටේ ආනන්ද ශාස්ත‍්‍රාලයේ 8ඒ පන්තියේ ය. අපට සෞඛ්‍යය උගන්වන්නට ආවේ ටිකක් වයසක ගුරුවරයෙකි. මට දැන් නම මතක නැත.


හොඳ සෞඛ්‍යසම්පන්න පුරුදු ගැන උගන්වමින් සිටි අපේ ගුරුතුමා සබන් ගෑම ගැන ද කතා කරන්නට පටන් ගත්තේ ය.


”ළමයි සබන් ගෑවාම අපේ සමේ තියෙන තෙල් කුණු ඉවත් වෙලා යනවා.. ඒ නිසා නානකොට සබන් ගාන්න  ඕනෙ.. කියන්න බලන්න අපි වැඩියෙන් නාන්න  ඕනෙ සබන් ගාන්න ඉස්සෙල්ලද ගෑවට පස්සෙද කියලා” එය නම් මටම ගැළපෙන ප‍්‍රශ්නයකි. මේ වන විටත් අපේ අයියාගෙන් ඒ ප‍්‍රශ්නයට පිළිතුර මම ඉගෙන ගෙන සිටියෙමි.


”සබන් ගාන්න ඉස්සෙල්ලා” මම පැනලා උත්තරය දුන්නෙමි. පන්තියේ හැමදාම පළමුවැනියා වුණත් කුලෑටි ශිෂ්‍යයකු වූ මට ඒ ධෛර්යය ලැබුණේ අයියාගේ දැනුම කෙරෙහි මගේ සිතේ තිබූ බලවත් විශ්වාසය නිසාම ය.


ගුරුතුමා නළල වකුටු කොටගෙන මා දෙස බැලූවේ ය.

”ඒ මොකද අයිසෙ..?” ඔහු ඇසුවේ ය.


”සබන් ගෑවට පස්සෙ ගොඩක් නෑවම සබන්  සුවඳ නැතිවෙන නිසා” මම කීවෙමි.


ගුරුතුමාට අසූහාරදාහට  කේන්ති  ගියේ ය. එකත් එකටම ඔහු සිතන්නට ඇත්තේ ඔහුගේ වැදගත් ප‍්‍රශ්නය මම අවඥාවට ලක්කළා කියා ය.


”සබන් සුවඳ තියේවි සබන් සැරට ඇඟ කසලා හොරි හැදුනාම” ඔහු කෝපයෙන් කීවේ ය. පන්තියේ කොල්ලෝ සිනාසුණ හ.


ඒ වුණාට තවමත් මා සිතන්නේ අපේ අයියා හරිි ය කියා ය.


මා කියන්නට ආවේ ඒ කතාව නොවේ. මගේ ජීවිතය වෙනස් කළ අයියා ගේ ප‍්‍රශ්නය ගැන ය. ඒ කතාව එන්නේ මෙයට පසුව ය.

Thursday, February 15, 2018

අධ්‍යාපනය ගැන යමක්

මෙයට වසර තුන හතරකට පෙර සිය ප‍්‍රථම උපාධිය හමාර කළ ඥාති නැගනියක මට සිටියි. රැකියා වෙළඳපොලට නොගැළපෙන ඇගේ උපාධිය අතේ තබාගෙන ඇය ආණ්ඩුවෙන් රැකියාවක් ලබාදෙන තෙක් බලා සිටියි. ගුරු පත්වීම් සඳහා වෙහෙසෙයි. දේශපාලකයන් පස්සේ යයි. රැකියාවක් නොලැබෙන විට දේශපාලකයන්ට පලූ පැලෙන්නට බනියි. ”උපාධිධාරීන්ට රැකියා දියව්”කියා පෙළපාලි යන්නට ඇය සූදානම් ය.


”මේ නාස්තිවන කාලයෙන් ප‍්‍රයෝජන අරගෙන තව ටිකක් ඉගෙන ගත්තනම් නරකද? තව ඉගෙනගන්න කොයි තරම් අවස්ථා තියෙනවද? චාටඞ් එකවුන්ටන්සි කරන්න කැමති නැද්ද?” මගේ යෝජනාව ඇගේ සිතේ කෝපයක් ඇති කරයි. ඇයට උපාධියක් ඇත. ඒ ඇති ය. විශ්ව විද්‍යාලයේ ඊනියා වාමාංශික දේශපාලනය ඇයට උගන්වා ඇත්තේ උපාධිධාරියකු නම් ආණ්ඩුවෙන් රස්සාවක් දිය යුතුය කියාය. ඒ නිසා ලබාගෙන ඇති උපාධිය හොඳටම ඇති ය. තව දුරටත් මහන්සිවන්නට අවශ්‍ය නැත. රස්සාවක් නොලැබෙන්නේ ආණ්ඩුවේ වරද නිසා ය.


මගේ දියනිය ඇගේ ප‍්‍රථම උපාධිය අවසන් කළේ මෙයට වසර පහකට පමණ පෙරදී ය. තමා උගත් අංශයෙන් ඇය පුද්ගලික ආයතනයක රැකියාවට ගියා ය. (ඔස්ටේ‍්‍රලියා රජය උපාධිධාරීන්ට රස්සා දෙන ජොබ් ඒජන්සියක් නොවේ) ඒ අතර පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක්ද සම්පූර්ණ කළා ය.


”මට ලෝ කරන්න  ඕනෙ” වසර කීපයකට පෙර දිනෙක ඈ මට කීවා ය.

”කරන්න.. මට පුලූවන් විදිහට උදව් කරන්නම්” මම කීවෙමි.


ඈ රැකියාවෙන් ඉවත් වී නැවත විශ්ව විද්‍යාලයකට ඇතුල් වූවා ය. පසුගිය සතියේ ඈ නීති උපාධිය හමාර කළාය.

තව මාස කීපයකින් ඇය නීතිඥවරියක ලෙස දිව්රුම් දෙනු ඇත. ඉන්පසු අදාල ක්ෂෙත‍්‍රයේ රැකියාවක් සොයා ගත යුතුය. විවිධ සුදුසුකම් රැසක් ඇති ඇයට එය අපහසු නොවනු ඇත.


2000 වසරේදී මා මගේ විද්‍යාපති උපාධිය (Masters) හමාර කළ පසු මින් ඉදිරියට ඉගෙනගන්නේ නැතැයි තීරණය කළෙමි. ආචාර්ය උපාධියක් වැනි ආභරණයක් වෙනුවෙන් ජීවිතය කැප කරන්නට මගේ කැමැත්තක් නැති බැවිනි.  එහෙත් වසර කීපයකට පසු රැකියාව වෙනස් කරන්නට මට අවශ්‍ය විය. මම ඩිප්ලෝමාවක් සඳහා නැවත විශ්ව විද්‍යාලයකට ඇතුල්වූයෙමි. එය හමාර කර ඒ අංශයෙන් රැකියාවකට ගිය පසු දැන් ඉගෙනගත්තා ඇතැයි නැවත සිතුවෙමි. වසර පහක් රැකියාව කළෙමි. මේ රැකියාවේ ස්ථාවරත්වයක් ලබා ගන්නට නම් මේ ක්ෂෙත‍්‍රයේ උපාධියක් ලබාගත යුතු බව මට දැන් වැටහෙයි. දිග කල්පනාවකින් පසු නැවත උපාධියක් සඳහා විශ්ව විද්‍යාලයකට ඇතුල් වූයෙමි. එළැඹෙන සඳුදා සිට මම ඒ උපාධිය වෙනුවෙන් ඉගෙන ගන්නට නැවත විශ්ව විද්‍යාලයට යමි.


භාෂා උපාධියක් අතැතිව වසර හතර පහක් තිස්සේ ආණ්ඩුවෙන් රස්සාවක් දෙනතෙක් බලා සිටිනා මගේ නැගනිය මට සිහිවෙයි. ලංකාවේ විශ්ව විද්‍යාල වල උගන්නා තරුණ තරුණියන්ගේ මානසිකත්වය මට නොවැටහෙයි. උන්ගේ සිත්වලට විෂබීජ ඇතුල් කර උන් දක්කාගෙන යන දේශපාලන බලවේග කෙරෙහි මට ඇත්තේ කෝපයකි. උන් මේ විනාශ කරමින් සිටින්නේ ජාතියක ජීවනාලිය වන් උගත් තරුණ පරපුරේ මනස ය.


රිසි ලෙස අධ්‍යාපනය ලබන්නට අවසර ඇති මා ජීවත් වන මේ පරිසරට මා ණයගැතිය. අධ්‍යාපනය ලැබීමට ඇති අයිතියට එරෙහිව පෙළපාලි යන පටු අදහස් ඇති මිනිසුන් මේ රටේ නැති වීම කොයි තරම් දෙයක්ද?