Monday, November 20, 2017

තවත් ගමනක්

මාස තුනකට හතරකට කලින් අප හැර ගිය අපේ ප‍්‍රවීණ ගත්කරු ඞී බී කුරුප්පු මහත්තයා අවුරුද්දකට විතර කලින් දවසක මට දුරකතන ඇමතුමක් දුන්නා.


”ඔයා මේ පත්තර වලට කොටස් වශයෙන් කතා ලිවිල්ල නතර කරන්න  ඕනෙ” ඔහු කෙලින්ම කිව්වා. ”..මේ වැඩෙන් ඔයාගෙ සැබෑ ලිවිල්ල මගඇරිලා යනවා.. පත්තරවලට ලියන එක නවත්තලා වෙනම ලියන්න ගන්න  ඕනෙ”

මං අහගෙන හිටියා. උත්තරයක් දෙන්න ගියේ නැහැ. ඔහු දිගටම කතා කළා.

”... ඔයා ලේඛකයෙක් හැටියට ලොකු දුරක් යන්න හැකියාව තියෙන කෙනෙක්..”  ඔහු කිව්වා. මේ කතාව මෙයිට කලින් ඔහු මගේ පොත් එළිදැක්වීමක කතාවක් පවත්වන අතරෙදිත් කිව්වා.

”ඉස්සෙල්ලම අර ඉස්කෝලෙ කාලෙ පොතේ දෙවෙනි කොටස ලියන්න පටන් ගන්න” ඔහු ඒ ඉල්ලීමත් බොහෝ දවස් වල මගෙන් ඉල්ලා තිබුණා.


මට කියන්න  ඕනෙ දේ තිබුණා. ඒත් මං කිසිම දෙයක් කිව්වෙ නැහැ.


පත්තරයටකට ලියන නවකතාවකින් කරන්න පුලූවන් දේ සීමිතයි. ඒක නොදන්නෙ කව්ද? ඒත් මං කැමතියි ඒ ව්‍යායාමයට. හේතු ගොඩක් නිසා.

අපිත් අපේ තරුණ අවදියේ පත්තරවල කොටස් වශයෙන් පළවෙච්ච නවකතා කොයි තරම් ආදරෙන් කියෙව්වද? ඈත යුගයෙ කරුණාරත්න සපුතන්ත‍්‍රිගෙ "ගංගා සහ නිස්සංක" විතරක් නෙවෙයි මෑත යුගයේ උපුල් ශාන්ත සන්නස්ගලගෙ "නේත‍්‍රා" පවා මට මතක් වෙනවා..


අපි පොතක් මුද්‍රණය කළාම කීයෙන් කීදෙනෙක්ද ඒ පොත මිලට ගන්නෙ. අපට මහා විසාල සිවිල් බලයක් නැති නිසා අපි ගැන - අපි ලියන දේ ගැන - කතා කරන කෙනෙකුත් නැහැ.  ඕනෙ නම් පොත් දාහක් විකිණෙයි. කියවන ප‍්‍රමාණය දෙදාහක් තුන්දාහක් වෙයි. ඒත් පත්තරයක ලියන නවකතාවක් එක සතියකට අවම වශයෙන් තිස් හතළිස්දාහක්වත් කියවනවා. මිනිස්සු කියවන යමක් ලියන්න මං කැමතියි. මං ලියන යමකින් වැඩි පිරිසක් සතුටුවෙනවා දකින්න මං කැමතියි. එච්චරයි.


මං සතියකට විතර පස්සෙ කුරුප්පු අංකල්ට කතා කළා.


”අංකල් එදා කිව්ව දෙයට මං දැන් උත්තරයක් දෙන්න කැමතියි” මං කිව්වා.


”කියන්න” ඔහු කිව්වා.


”කුරුප්පු අංකල්.. මගේ හිතේ හීනයක් තිබ්බා.. ලෝකප‍්‍රකට ලේඛකයෙක් වෙන්න නෙවෙයි.. මට  ඕනෙ වුණා කරුණාසේන ජයලත් කෙනෙක් වෙන්න.. මට  ඕනෙ වුණා ජයසේන ජයකොඩි කෙනෙක් වෙන්න.. මට  ඕනෙ වුණා ජයකොඩි සෙනෙවිරත්න කෙනෙක් වෙන්න.. මං ඒ හීනය දිනාගෙන තියෙනවා.. ඒ සතුට මං විඳිනවා.. සමහරවිට මං හෙට උත්සාහ කරයි සයිමන් නවගත්තේගම කෙනෙක් වෙන්න.. ඒත් එයිට කලින් අද මං මේ සතුට විඳිමින් ඉන්නවා.. මිනිස්සු වැඩි දෙනෙක් කියවන හොඳ යමක් ලියන එක විතරයි අද දවසේ මගේ සතුට.. බහුශ‍්‍රැතයෙක් විදිහට පුම්බගෙන හුදකලාවෙ ඉන්නවට වඩා සාමාන්‍ය මිනිහෙක් හැටියට මිනිස්සු වැඩි පිරිසක් අතර ඉන්න මං කැමතියි”


කුරුප්පු අංකල් හිනාවුණා.


”ඒ උත්තරේ මට සෑහෙනවා” ඔහු කිව්වා.


”ජගත් ගේ පිලිතුර ඉතා අවංක එකකි” ඔහු පසුව ඔහුගේ ලිපියක ලිව්වා.


ප‍්‍රවීණ මාධ්‍යවේදී ගාමිණී සමරසිංහ ඔහු අලූතින් අරඹන ”චලන” සිනමා පුවත්පතට නවකතාවක් ලියන්නැයි කළ ආරාධනය මං බාරගත්තෙ සතුටින්. ඒ ලියන නවකතාව අපූරු සිත්තම් පෙළකින් වර්ණවත් කරන්නෙ මං කවදත් ආදරය කළ ජානක ඉලූක්කුඹුර කලාකරුවා වීම මගේ සතුට වැඩි කරනවා. විශ්ව සහ මහේෂිකා කියන තරුණ රංග ශිල්පියාත් ශිල්පිනියත් ඒ සිත්තම් වල පෙනී සිටීම තවත් සතුටක්.


ඉතින් මං ආයෙම පත්තරේකට නවකතාවක් ලියනවා. කුරුප්පු අංකල් මා සමග අමනාප නොවන බව මං දන්නවා. මොකද මං මේ දවස් වල ”ඉස්කෝලෙ කාලෙ” පොතේ දෙවෙනි කොටසත් ලියමින් ඉන්න නිසා.


මං ලියන දෙයකින් වැඩි පිරිසක් සතුටක් ලබනවා නම් මට ඒ ඇති. මං ඒ සතුට මාර විදිහට විඳිනවා...

Tuesday, November 7, 2017

ජයතිලක කම්මැල්ලවීර සූරීන්ගේ "චක‍්‍ර" කියවා ලියමි..



කම්මැල්ලවීර සූරීන්ගේ චක‍්‍ර නවකතාව නදී අපේ ගෙදරටම ගෙනැවිත් දී ගියේ පෙරේදා රැයේය. ඒ ත්‍යාගය මගේ සිතේ අපමණ සතුටක් ඇති කළ එකකි. පසුගිය දවස් දෙකේ රැ වැඩ කරන අතරේ පොත කියවා හමාර කළෙමි.


එක දිගට කියවා රස විඳින්නට හැකි චක‍්‍ර වෙනස්ම තේමාවක සිට ලියූවක් බව බැලූ බැල්මටම පෙනෙයි. පියා කවුදැයි නොදන්න දරුවකු ගේ කතාව කියන්නට කම්මැල්ලවීර මහතා පසුබිම් කරගන්නේ 1970 සිරිමා බණ්ඩාරනායකගේ රජය කාලයේ සිට හැත්තෑහතෙන් ඇරඹී වසර 17 ක් ගෙනගිය යූඑන්පී රජයේ අවසානය දක්වා කාලයයි. මේ කාලය තුළ දේශපාලනයේ මෙන්ම සමාජයේ වූ හැලහැප්පිලි සමගින් පැරණි වාමාංශික ව්‍යාපාරයේ ඇදවැටීමත් අනතුරුව බිහිවූ භීෂණ යුගයත් පිලිබඳවද ඔහු කතා කරයි. කැරලිකාරයන් අතින් තමා හදාවඩාගත් වාමාංශික නායකයා මරණයට පත්වීමෙන් පසු කතනායකයා ඔස්ටේ‍්‍රලියාවට පළා යාමත් ඉන්පසු ඔහු මුහුණ දෙන සිදුවීම් දාමයත් කම්මැල්ලවීර මහතා පාඨකයා වෙහෙස නොකරණ ශෛලියකින් ඉදිරිපත් කරයි.


කතාවේ අවසානයද අපූරුය. උතුරේ කැරලිකාරයන් අතින් සෙල්වා නම් වන ද්‍රවිඩ වාමාංශිකයා මරණයට පත්වීමත් දකුණේ කරළිකාරයන් අතින් මෙන්ඩිස් නම් වන සිංහල වාමාංශිකයා මරණයට පත්වීමත් නැවත නැවත කල්පනා කරන්නට වටිනා පසුබිමක් සකස් කරයි.



මාතලන් සිංහල චිත‍්‍රපටය තිරගතවූයේ 1955 දී ය. මදර් ඉන්ඩියා 1957 දී ය. කතානායකයා ඒ චිත‍්‍රපට දෙක නැරඹීම කතාව ගලායන කාලයට නොගැළපේ යයි මට දැනෙයි.



උතුරේ වේවා දකුණේ වේවා දේශපේ‍්‍රමී, දේශද්‍රෝහී, සමාජවාදී, ජනතාවාදී,  ,ලේබල යටතේ තොරොම්බල්වන තරුණ ජීවිත පිලිබඳව නැවත සිතන්නට පසුබිමක් "චක‍්‍ර" අපට සපයා දෙයි. විිවිධාකාර දේශපාලන උවමනාකම්වලට නැටවෙන් තරුණ පරපුර දෙස අනුකම්පාවෙන් බලන්නටත් උන් නටවන බලවේග දෙස චිවේචනාත්මක ඇසක් යොමු කරන්නටත් චක‍්‍ර අප පොළඹවන්නේ යයි මට සිතෙයි. එදා සිරිමා ගේ රජයට එරෙහිව දේශපාලනය ගැන මෙළෝ හසරක් නොදත් පාසල් ළමුන් වූ අප පාරට දක්කාගෙන ආ දේශපාලන බලවේගම අදත් පාසල් ළමුන් පාරවල දක්කන ආකාරය දකින විට චක‍්‍ර නවකතාවෙන් කතාකරන මේ දේශපාලනයේ සදාකාලික බව අපට පෙනෙයි.


පසු සටහන

ඔස්ටේ‍්‍රලියාවේ අවුරුදු 18ක් 19ක් සිංහල පත්තර කරන පත්තරකාරයකු බවට පත්ව සිටින මට අර කතානායකයාට හමුවන ඔස්ටේ‍්‍රලියාවේ පත්තරකාරයාගේ චරිතය හරහා කියවෙන සමහර කතා ගැන නම් සතුටක් ඇති නොවෙයි. ඔස්ටේ‍්‍රලියාවේ පළකෙරෙන කිසිම පත්තරයකට ඔස්ටේ‍්‍රලියා රජයෙන් සතපහක ආධාරයක් නොලැබෙන බව අවධාරණය කරන්නට කැමැත්තෙමි. නොමිලේ බෙදාදෙන මේ බොහෝ පත්තර දුවන්නේ ඒවා කරන මිනිස්සුන්ගේ ඇෙඟ් අමාරුවටය. නැත්නම් වෙනත්  ඕනෑ එපා කම් නිසා ය.

Wednesday, November 1, 2017

අපි නැවත වතාවක් මෙල්බන් ගුවන්විදුලිය සමස්ථ ඕස්ටේ‍්‍රලියාවේ හොඳම ජනවාර්ගික වැඩසටහන් අතරට ගෙනාවා

මෙයට වසර දෙකකට පෙර ගුවන්විදුලියේ සෙනසුරාදා උදෑසන සිංහල ගුවන්විදුලි වැඩසටහන මා බාරගන්නා විට එය තිබුණෙ කීපදෙනකු පමණක් අසන වැඩසටහනක් ලෙසයි. ඒ මොහොත මගේ හිතේ තිබුණෙ දැඩි අධිෂ්ඨානයක්.  ”මම කොහොම හරි මේක ගොඩ දානවා” කියන හැඟීම පමණයි මගේ හිතේ තිබුණෙ. ලොකු කමකට කියනවා නෙවෙයි. මට මා ගැන තියෙන්න දැඩි විශ්වාසයක්.

මම මුළින්ම මෙල්බන් ගුවන්විදුලියට සම්බන්ධ වුණේ 2000 අවුරුද්දෙ අසෝක සිල්වා සොයුරාගෙ නායකත්වයෙන් බිහිවුණ ගුවන්විදුලි කණඩායම සමගින්. එදත් අපි එතෙක් පැවති ගුවන්විදුලියේ පැහැදිලි වෙනසක් කළා. සෙනසුරාදා උදෑසන සිංහල වැඩසටහන පටන්ගත්තේ 2000 දි. ඉන්පස්සේ..... ඉන්පස්සේ.....ඉන්පස්සේ..... අවුරුදු දහයක් දොළහක් මගෙන් වැඩක්ගන්න තිබුණ අවස්ථාව පැහැර හැරියෙ කොහොමද?


මම වැඩකරන්න කැමති මනුස්සයෙක්. මට  ඕනෙ මගේ හැකියාවෙන් යමක් කරන්න. යමක් කරන්න තියෙන  ඕනෙ කම මට දරාගෙන ඉන්න බැහැ. ගුවන්විදුලියට මං ආසයි. ආදරෙයි. ඒ නිසයි තිසර නමින් ඔන්ලයින් ගුවන්විදුලියක් www.thisara.com පටන්ගත්තෙත්. අතින් වියදම් කරගෙන දැන් අවුරුදු පහකට වැඩි කාලයක් මම තිසර පවත්වාගෙන යනවා.

අවුරුදු දෙකකට පෙර සෙනසුරාදා ගුවන්විදුලි වැඩසටහන බාරගන්න කියලා ආරාධනාවක් ලැබුණ වෙලාවෙ අතීතය මත්තෙ හැපෙන්නෙ නැතිව අලූතින් ගමනක් යන්න මම හිතුවා.

මා ඉදිරියෙ තිබුණ ප‍්‍රධානම අභියෝගය සෙනසුරාදා උදේ ගුවන්විදුලියෙන් ඈත් වූ ශ‍්‍රාවක පිරිස නැවත ඇදගැනීම. ඔවුන් අවදි කිරීම. ඒ වෙනුවෙන් මං යම් ආකෘතියක් ගොඩනගා ගත්තා. මේ වැඩසටහනේ අපි ඉදිරිපත්කරනෙ අසන්නන්ගෙ හදවතට දැනෙන දේ විතරයි. ඒක අසන්නන්ට අල්ලලා ගියා.

www.shanidaa.com

මේ ගමන සාර්ථක කරගන්න උරදෙන්න තේජා කටුගම්පොළ එක්වීම මට මහත් ශක්තියක් වුණා. ඇගේ පළපුරුද්ද අපට විශාල ගැම්මක් දුන්නා. මේ සටහන ලියන අද උදේ මගේ සේවා ආයතනයේ සේවය කරන සුද්දෙක්  - සයිමන් - මට මෙහෙම කියනවා.

”මට උඹේ වැඩසටහනේ භාෂාව තේරෙන්නෙ නැති වුණාට ඒක කරන්නෙ උඹ නිසා මං සමහර වෙලාවට ඒක අහනවා. අර උඹත් එක්ක ඉන්න ගෑනු ළමයගෙ කටහඬට මං හරිම කැමතියි”

තේජාත් මාත් එකඟ වුණ ප‍්‍රතිපත්තියක් තියෙනවා. අපි දෙන්නම දැඩි ලෙස ඒ ප‍්‍රතිපත්තියේ ඉන්නවා. අපි මේ වැඩ සටහනේ මුල් තැන දෙන්නෙ වැඩසටහනට පමණයි. මෙතනදි තේජාටවත් මටවත් කැපී පෙනීමේ අවශ්‍යතාවක් නැහැ. වැඩසටහනට සාධාරණය කිරීම කියන කාරණයට පමණයි අපි මුල් තැන දෙන්නෙ. පුද්ගලික අජෙන්ඩා සහිතව අපට එක්වන අය අප සමග රැඳෙන්නෙ නැති බව අපි අත්දැකීමෙන් දන්නව.

අපි ගිය වසරෙ පළමුවතාවට සමස්ථ ඔස්ටේ‍්‍රලියාවේ සියලූම ජනවාර්ගික වැඩසටහන් අතරින් හොඳම වැඩසටහන තේරීමේ තරගයේ අවසන් වටයට ආවා. දැන් අපි දෙවන වතාවටත් මේ අවුරුද්දෙ ඒ තරගයේ අවසන් වටයට ඇවිත් තියෙනවා. අපේ සමාජයට අපට දෙන්න පුලුවන් දායාදය තමයි ඒ. 

”ඔන්න අපි ඔබේ ගුවන්විදුලි වැඩසටහන සමස්ථ  ඕස්ටේ‍්‍රලියාවේ හොඳම ජනවාර්ගික වැඩසටහන් අතරට ගෙනාවා”

හිතේ කුහක කමක් නැති ඔනෑම කෙනෙක් අප සමග සතුටුවන බව අපි දන්නවා.