Tuesday, October 3, 2017

පොලිස් කතාවක්

පසුගිය සතිය පුරාම වරින් වර පොලීසිය පිළිබඳ විවිධ කතා අසමින් සිටියෙමි.  මෙයත් පොලිසිය පිළිබඳවම කතාවකි.  සිදුවුණේ ඈත අතීතයේදී ය.


මේ කියන යුගයේ මා පදිංචිව සිටියේ වැලිකඩ රාජගිරියේ පසුමල් පෙදෙසේ ය. මිරිහානේ පිහිටි එක්තරා ඉඩමක් විකිනීමෙන් ලද මුදලින් අපි සපුමල් පෙදෙසේ කාමර දෙකක් සාලයක් කුස්සියක් හා ගරාජයක් පමණක් තිබූ මේ කුඩා ගෙය මිලට ගත්තෙමු. මේ කියන යුගයේ මා මාර්ග සංවර්ධන අධිිකාරියේ සේවය කරමින් සිටි අතර රාජගිරියේ සිට  මරදනේ පිහිටි මගේ යාන්ත‍්‍රික කම්හලට යාම ඒමද ඉතා පහසු වූ බැවින් මේ නිවසට මම කැමති වීමි. මිරිහානේ පිහිටි මගේ ගෙදර කුලියට දීමෙන් අමතර ආදායමක් ලබාගැනීමට හැකිවීමද අපට සහනයක් විය.


මේ කුඩා නිවසට යාබදව තවත් ඒ සමානම නිවසක් තිබූ අතර එහි කිසිවකු පදිංචිව සිටියේ නැත. ඒ නිවසෙන් ඔබ්බේ වූයේ විශාල ගොඩනැගිල්ලක පශ්චිම භාගයයි.  ඒ විසල් ගොඩනැගිල්ල ප‍්‍රධාන පාරට මුහුණ ලා තිබුණ අතර අයිතිකරු ධනවත් වෙළෙන්දෙක් විය.

මේ ධනවතා තිස්ස දෙවේලේ "බුදු සරණයි" කියන හද්දා කපටියකු විය.

මගේ නිවසට යාබදව වසා ඇති නිවස මේ ධනවතා මිලට ගන්නේ එයින් ඔහුගේ විශාල ගොඩනැගිල්ලට ප‍්‍රවිශ්ඨ වන්නට තවත් මාර්ගයක් විවරවන බැවිනි.  එය මිලට ගෙන සති කීපයක් ඇවෑමෙන් ඔහු එය කඩා බිමට සමතලා කරන්නට පටන් ගත්තේ මගේ නිවසේ බිත්ති වලටද දැඩි ලෙස හානි කරමිනි. මගේ නිවසේ බිත්ති ඉරිතලා පුපුරා යාම නිසා දැඩි අවදානමක් මතුවිය. මා කීපවතාවක් අර වෙළෙන්දා හමු වී මේ ගැන කීවද ඔහු මගේ කීම් සතපහකටවත් මායිම් කළේ නැත.


ඉතින් නීතිගරුක පුරවැසියකු ලෙස මම පොලිසියේ පැමිණිල්ලක් කළෙමි.


පැමිණිල්ල අනුව මගේ නිවස පරීක්ෂා කරන්නට ආ පොලිස් නිලධාරීන් දෙදෙනා සිදුව ඇති හානිය ඇසින්ම දැක ගත්හ.


”මේක හරිම අපරාධයක්නෙ මහත්තයා.. අපි මේක ලොකු මහත්තයට රිපෝට් කරන්නම්” ඔවුහු කීහ.


පසුදා පොලිසියට එන ලෙස පොලිසියේ ස්ථානභාර නිලධාරියාගෙන් පනිවිඩයක් ලැබුණි. මම නියමිත වේලාවට පොලිසියට ගොස් ස්ථාන භාර නිලධාරියා හමුවීමි.


”මහත්තයට වෙලා තියෙන පාඩුව ගැන මට විස්තරයක් ලැබුණා. වැඬේ හරිම අසාධාරණයි තමයි.. මම පනිවිඩයක් යැව්වා ඔය කියන කෙනාට දැන් එන්න කියලා.. ආවාම අපි විභාග කරලා බලමු” ආගිය විස්තර ඇසීමෙන් පසු ඔහු කීවේ ය.


මද වේලාවකට පසුව අර කී වෙළෙන්දා පොලිස් ස්ථානාධිපතිගේ කාමරයට ඇතුල් වූයේ ය.


”ආ ( ....... නම...) මුදලාලි මහත්තයා.. මොකද අද මේ පැත්තෙ?” ස්ථානාධිපතිවරයා ඇසුවේ ය.

”මට එන්න කියලා පනිවිඩයක් එවලා තිබුණා.. ” ඔහු කීවේ ය.

”දෙයියෝ සාක්කි..  මුදලාලි මහත්තයගෙද මේ ගෙවල් කේස් එක” ස්ථානාධිපතිවරයා පුදුමයට පත්ව ඇසුවේ ය.

”මේකනෙ සර්.. මගේ ගේ කඩනකොට මේ මහත්තයගෙ ගෙයි පොඞ්ඩක් බිත්තියක් ඉරිතැලිලා ගියා.. මං කිව්වා  ඕව දුර දිග ගෙනියන්න  ඕනෙ නැහැ.. මං හදලා දෙන්නං කියලා.. කෙහෙද ඉතින් මේ මහත්තුරු  ඕව අහන එකක්යැ” මුදලාලි කියාගෙන ගියේ ය.

”ආ එහෙමනං ප‍්‍රශ්නයක් නැහැනෙ මහත්තයා” පොලිස් ස්ථානාධිපති ඒ කීවේ මට ය ”.. මේ මුදලාලි මහත්තයා ඉරිතැලිච්ච ඒව හදල දෙනවනං ප‍්‍රශ්නයක් නැහැනෙ”

”ඉරිතැලිච්ච තැන් උඩින් ප්ලාස්ටර් කරලා වැහුවට වැඩක් වෙන්නෙ නැහැ.. ඒ බිත්ති කොයි වෙලේ හරි කඩා වැටෙයි” මම කීවෙමි.

” ඕකනෙ සර් ප‍්‍රශ්නෙ.. මං මෙච්චර සාධාරන විදිහට ප‍්‍රශ්නෙ විසඳනකොට මේ මහත්තුරු ඒක පිලිගන්නෙ නැහැනෙ.. කොහොමත් මේව පරණ ගෙවල්නෙ සර්.. බිත්ති හයිය නැහැ තමයි..” මුදලාලි කියයි.


මුදලාලි තව තවත් දේ කියයි. පොලිස් නිලධාරියා ඒ සියල්ල අනුමත කරමින් මට උපදෙස් දෙයි. දැන් මා පැමිණිළිකාරයා නොව විත්තිකාරයා බවට පත්ව ඇති සැටියකි.


”මහත්තයා මේ දැන් මේ මුදලාලි කියන විදිහට එයා මේ බිත්ති රෙපයාර් කරලා දෙයි.. ඒක සාධාරණයිනෙ.. දැන් මං මේ මුදලාලිට කියන්නං මහත්තයා එක්ක කතා කරගෙන ඒ රෙපයාර් එක කරදෙන්න කියලා” ස්තානාධිපතිවරයා අවසාන නිගමනය දුන්නේ ය. ඔහුට ඉක්මණින් මේ කතාව අවසන් කරන්නට අවශ්‍යව ඇති බව මට දැනෙයි.


”ඉතින් ඉතින් මුදලාලි.. මේ සැරෙත් අපේ අවුරුදු උත්සවේට ස්පොන්සර්ෂිප් එක දෙනවා නේද?” මම කාමරයෙන් පිටව එද්දී ස්ථානාධිපතිවරයා අසනු ඇසුනි.


”මොනව අහනවද සර්.. අපි කවදාවත් ඒ වගේ වැඩ වලට පස්සට යන්නැහැනෙ” මුදලාලිගේ පිළිතුරද ඇසුණි.


මම කලකිරීමෙන්ම මගේ වාහනය වෙත ගියෙමි. මුදලාලි මා පසුපසින් පැමිණ වාහනය අසළ දී නැවතුණේ ය.


”මේ රටේ වැඩ කෙරෙන විදිහක් තියෙනවා මහත්තයා.. ඔයාලගෙ උගත් මොළේට ඒව දැනෙන්නෙ නෑ.. දැන්වත් ඒක තේරුම් ගන්න” ඔහු කී්වේ ය.


පොලිසියෙන් පිට වන විටම මම ඒ බව තේරුම් ගෙන සිටියෙමි.